Tuesday, January 24, 2012

රන් බණ්ඩේ මස් බණ්ඩේ වූ හැටි

මේ 2010 වසරේ පෙබරවාරි මස 14 වන සිළුමිණ පුවත්පතේ පලවූ තවත් එක් සත්‍ය සිද්ධියකි.


මිනිස් ජීවිතවල සිදු වන ඇතැම් සිදුවීම් පිළිබඳ හරියාකාර නිගමනවලට පැමිණිය නොහැකි අවස්ථා බොහෝය. එවැනි සිදුවීම්වල දී මොනවා හෝ අනුමානයක් පවසා ඒ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම අතහැර දැමීම සිරිතය. එහෙත් මේවා මතකයෙන් ගිලිහී යෑම නම් සිදු නොවේ. මේ සිද්ධිය ද දශක ගණනකට පෙර වන්නි ප්‍රදේශයේ සිදු වූ එහෙත් තවමත් ගැමියන්ගේ මතකයෙන් ඉවත්ව නොගිය අරුම පුදුම කතාවකි.

හේරත් හාමි හේන් ගොවිතැනින් ජීවත් වූ ගැමියෙකි. ඔහු ගොවිතැනට අමතරව වනසතුන් දඩයම් කිරීම ද පුරුද්දක් කොට ගෙන තිබිණි. හේරත් හාමි ගේ බිරිය උක්කු මැණිකේ ද සැමියා ගේ සියලු කටයුතුවල දී මෙන්ම වෙහෙස මහන්සි වී හරි හරියට ගොවිතැන් වැඩවලට ද උදව් වූවාය. එසේ ම සැමියා පි‍්‍රය කළ අන්දමට කටට රහට ඉවුම් පිහුම් වැඩට ද දක්ෂ වූවා ය. ඔවුන්ගේ ගෙදර ළිපේ දඩ මස් ඇතිළියක් නොඉදුණු දවසක් තිබුණේ ම නැත. ඔවුනට සිටි එක ම දරුවා රන් බණ්ඩා ය.

තම පණටත් වඩා ආදරෙන් ඇති දැඩි කළ පුතණුවන් රටේ වැදගත් යැයි පිළිගත් රැකියාවක යෙදෙනු දැකීම මේ මව්පිය දෙපොළගේ එක ම අභිප්‍රාය වීය. ඒ නිසාම ඔහු පාසල් යවා අවශ්‍ය පරිදි උස් මහත් කොට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔව්හු කිසි විටෙක විය පැහැදමට පැකිළුණේ ද නැත. කිසි විටෙක තමන්ගේ ගොවිතැන් වැඩට හෝ දඩයමට පුතණුවන් සහභාගි කරවා නොගැනීමට ද අධ්‍යාපන කටයුතු සඳහා ම යොමු කිරීමට ද ඔව්හු වග බලා ගත්හ.

පාසල් අධ්‍යාපනයෙන් අවශ්‍ය විභාග සමත් වූ රන් බණ්ඩා රජයේ ලිපිකරු තනතුරක් ලබා රැකියාව සඳහා අගනුවර කාර්යාලයක පත්වීමක් ලැබීය. සෑම මාසයක ම වැටුප ලබා ගත් සැණින් මව්පියන්ට අවශ්‍ය ඇඳුම් හා වෙනත් තෑගි බෝග රැගෙන නොවරදවා ම ගෙදර යෑම ඔහුගේ සිරිත විය. පුතා ගේ නිසි වයස් එළැඹි විට ඔහුට කරකාරයක් කැර දීමට ද මේ දෙමව්පියෝ පරක්කු කළේ ද නැත. රන් බණ්ඩා කැමති වූයේ රැකියාවක් කරන තරුණියකට නොවේ. තමන් දුර බැහැර කල් ගෙවන බැවින් තම මව් පිය දෙදෙනාට ආදරයෙන් සලකමින් අම්මා ගේ ගෙදර දොර වැඩට උදව් වෙමින් කටයුතු කරන්නට සූදානම් සහකාරියකට ය. පුතාගේ අදහස් අගය කළ මව්පියෝ තමන්ට දුරින් නෑකම් ඇති පවුලකින් සුදුසු තරුණියක් සොයා ඒ විවාහය ද සිදු කැර දුන්හ.

මෙසේ කාලය ගෙවී යද්දී රන් බණ්ඩා දරුවන් තුන් දෙනකුගේ පියකු බවට පත් වූ අතර මව් පිය දෙදෙනා වයස්ගත වූහ. පළමුව ම උක්කු මැණිකා මිය ගියා ය. හේරත් හාමි ද වයස් ගත වුවද ඔහුට දඩමස් නැතිව ම බැරි විය. වයසේ හැටියට පරණ පුරුදු අත් නොහළ හේරත් හාමි දඩයම අත් හැරියේ ද නැත. දිනක් වල් ඌරු නාම්බකුට ගිනි බිඳින්නට ගොස් වෙඩි කෑ ඌරාගෙන් පහර කා තුවාල ලැබ රෝහල් ගත කරන්නට යෙදුණේ එයින් ම මිය ගියේ ය. රන් බණ්ඩා රැකියාවෙන් නිවාඩු ගෙන පැමිණ තාත්තා ගේ අවසන් කටයුතු කොට හත් දොහේ දානය ද දුන්නේ ය.

තාත්තා ගේ මළගමේ චාරිත්‍ර සියල්ල ඉටු කොට අවසන් කළ ද රන් බණ්ඩා නැවත රැකියාවට ගියේ නැත. ඔහුට රැකියාවට යෑමට හිත දුන්නේ ම නැත. රැකියාව කළ ආයතනයේ ප්‍රධානියා විසින් අවසන් කැඳවීමේ ලියුම එවූව ද, ආපසු රැකියාවට යනවා තබා රැකියා ස්ථානයෙන් එවූ ලියුමට පිළිතුරක් පවා යැව්වේ නැත. මේ වන විට උස් මහත්ව සිටි දරු තුන් දෙනාත් බිරියත් කෙතරම් ඇවටිලි කළ ද නැවත රැකියාවට ගියේ රන් බණ්ඩා නොවේ.
දැන් රන් බණ්ඩා එදා සිටි මිනිසා ද නොවේ. කිසිවෙකු සමඟ කතා බහක් නැත. යමෙක් යමක් ඇසුවොත් ඊට වචනයෙන් දෙකෙන් උත්තර දී මග හැර යන නිශ්ශබ්ද පුද්ගලයකු බවට පත්ව සිටියේ ය. රැවුල කපා ගන්නට පවා වුවමනා නොවූ ඔහුගේ මුහුණ සහ රැවුලෙන් වැසී තියුණු ඇස් දෙක පමණක් ඒ තුළින් මතුව පෙනිණි.
උදේ රැයින් ගිනි කඳයා කර තබා ගෙන කැලේට රිංගන ඔහු බොහෝ විට ආපසු ගෙදර එන්නේ ගොම්මන් අඳුර වැටුණාටත් පසුව ය. ඒ එන්නේ මොකෙක් හෝ සතෙක් දඩයම් කොට කර තබා ගෙන ය. මේ ගෙදර තුන් වේලට ම දඩමස් ඇතිළියක් ළිප උඩ දුම් දැම්මේ ය. ගෙදර ආහාරයට වැඩි දඩමස් කොටස ගම්මුන්ට විකුණුවේ ය.
රන් බණ්ඩා උදේට කර තබා ගෙන යන ලැයිසොන් තුවක්කුවට හෝ රෑට කැලේ මානා බඳින තුවක්කුවට හෝ දිනපතාම නොවැරැදීම වන සතෙක් ජීවිතය පූජා කරන්නේය. මෙසේ එළා ගන්නා දඩයම ගෙට තරමක් දුරින් පිහිටි ගල් පොත්ත උඩට ගෙන ගොස් මස් කිරිම ඔහුගේ සිරිත විය. ගල් පොත්තේ බෑවුම පැත්තේ පහළින් ශක්තිමත් ලී කණුවක් සිටුවා එහි සවි කරන ලද ලොකු යකඩ කොක්කක් විය. දඩයම් කළ සතා ගේ බොකු බඩවැල් ඒ යකඩ කොක්කේ අමුණා තැබීම ද රන් බණ්ඩා නොකඩවා ම සිදු කළ චාරිත්තරයක් වීය.

ඉස්සර රන් බණ්ඩා මහත්තයා යැයි මේ ගමේ කවුරුත් කට පුරා කීව ද කාලයා ගේ ඇවෑමෙන් රන් බණ්ඩේ මස් බණ්ඩේ බවට පත් වීය. එසේ ම රන් බණ්ඩේ කෙරෙන් තවත් විශේෂයක් සිදු වීය. එනම් රන් බණ්ඩේට උණක් හෙම්බිරිස්සාවක් වැළඳී දඩයමේ නොගිය ද, ධාරානිපතා වරුසාව නිසා දඩයමේ යන්නට නොහැකි වුව ද එදාට කැලේ සිටින හාවෙකු, මී මින්නෙකු හෝ අඩු තරමින් තල ගොයෙකු හෝ කැලෙන් මතු වී ඔහුගේ නිවසට දුවගෙන ඇවිත් රිංගා ගැනීමයි. එදාට දඩයමේ යන්නට නොහැකිව කල ගත කරමින් සිටින රන් බණ්ඩේගේ ගෙදරට ඉබේ ම ඇවිත් රිංගන සතාට සිදුවන්නේ කුමක් දැයි කියන්නට වුවමනා නැත.

මෙසේ කාලය ගෙවී යද්දී දිනක් සුපුරුදු පරිදි රන් බණ්ඩේ දඩයමේ ගියේ ය. කැලේට රිංගූ ඔහු ඒ කැලයේ අනිත් පැත්තට ගියේ ය. එහි දී ඔහුගේ තියුණු ඇසට ලක් වූයේ කන්ද පාමුල ලන්දේ උලා කමින් සිටි තිත් මුවැත්තියකි. මුවැත්තිය අසල ම ඇගේ පුංචි පැටවා ද දැවටෙමින් සිටියේය. රන් බණ්ඩේ මුවැත්තියට ඉලක්කය අල්ලා කොකා ගැස්සුවේය. එදා නම් දඩයක්කාරයා ගේ ඉලක්කය වැරදී ගියේ ය. වෙඩි වැදුණේ කුඩා පැටවාට ය. මුවැත්තිය වෙඩි හඬින් බිය වී ලේ ගලමින් දඟලමින් සිටි පැටවා දෙස අහස පොළව කම්පා කරවන බැල්මක් හෙළුවා ය. ඒ දෙසට පිම්මේ දුවගෙන එන දඩයක්කාරයා දුටු මුවැත්තිය ඒ වන විට පණ නළ සිඳී ගිය පැටවා අත හැර කන්දෙන් පහළට දුවන්නට වූවා ය.

දඩයම කරා ළං වූ රන් බණ්ඩේ මළ පැටවා ගේ ගාත් දෙකකින් එල්ලා ගෙන මුවැත්තිය පසු පසින් දිව්වේ ය. කන්ද පාමුල ඒ ගමේ කුඩා පන්සලක් විය. ඒ පන්සලේ ආරාම කුටියේ අසුනක හිඳගෙන සිටි තපස්සර හාමුදුරුවෝ දැහැත් වට්ටියෙන් පුවක් ගෙඩියක් ගෙන ගිරයෙන් කපා සුද්ද කරමින් සිටියහ. කන්දේ සිට දුවගෙන ආ මුවැත්තිය කෙළින් ම පන්සල් ගෙට දුවගෙන ඇවිත් හාමුදුරුවෝ හිඳ ගෙන සිටි පුටුව යටට රිංගා ගත්තා ය.

දුටු දෙයින් විමතියට පත් වූ හාමුදුරුවෝ පුටුව යටට එබී බැලූහ. ඒ වන විටත් දරු සෙනහසින් පීඩිතව සිටි බියපත් මුවැත්තිය ගේ බුරුල්ලෙන් කිරි වැගිරෙමින් තිබිණි. හාමුදුරුවන්ගේ නෙත ගැටුණු මුවැත්තිය අන්ත අසරණව කෙඳිරි ගෑවා ය. මුවැත්තිය, පසු පසින් දුවගෙන ආ දඩයක්කාරයා පන්සල් මිදුලේ තියුණු දෙනෙත් දල්වා ගෙන බලා සිටී. ඔහුට වැරදුණු කුරුමානම පන්සල් කුටිය ඇතුළට රිගූ බව හේ හොඳාකාරව ම දනී. අතකින් පුවක් ගෙඩියත් අනිත් අතින් ගිරයත් ගෙන සිටි තපස්සර හාමුදුරුවෝ ද ඔහු දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයෙනි.

රන් බණ්ඩේ ආපසු හැරුණේ ය. රාත්තල් දෙකකවත් මස් බරක් නැති තිත් මුව පැටවා ද එල්ලා ගෙන ආපසු ගියේ ය. වෙනදා පරිදි ම ගල් තලාව මුඳුනට නගින්නට විය. ගල මත්තේ මස් කපන කොළොම්බු කොටයට ළං වෙනවාත් සමඟ ම රන් බණ්ඩේ පය පැටළී වැටුණේ ය. මුව පැටවා පැත්තකට විසි විය. ගිනි කඳයා අතින් පැත්තට විසි විය. පය පැටළී වැටුණු රන් බණ්ඩේ ගල පාමුලට පෙරළෙන්නට විය. ගල පාමුල කණුවේ සවි කොට තිබූ යකඩ කොක්ක පපුවේ ඇනී රන් බණ්ඩේ ගේ ප්‍රාණ වායුව ද “හාස්” ගා වාතලයට එක් විය.

වෙනදා හැන්දෑවට නොවරදවා ම ගෙදර එන තාත්තා එදා ගෙදර ආවේ නැත. අහස ගොරවමින් මහ වැස්සක් කඩා හැළෙන්නට විය. ගෙට නුදුරින් නරි රංචුවක් හූ කියන්නට විය. ගෙදර හදන බල්ලා ද ඊට අනුව උඩු බුරලන්නට විය. මේ මූසල වටපිටාව අම්මා ගේ සිතේ බියක් ඇති කළේය. මේසය මත රන් බණ්ඩේගේ බත් පංගුව පිඟානකින් වසා තිබිණි. ඒ අසල දඩමස් ව්‍යංජනය ද බත් පංගුවට තනි රැක්කේය. එදා පැවතුණු වරුසාවෙන් ඇති කළ තද සීතල ද අමාවකේ ඝන අඳුර ද සම්පූර්ණයෙන් පලවා හරින්නට අසමත් වූ අස්කෝ ලාම්පුවේ ආලෝක දැල්ල දුප්පත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි.
දරු තුන් දෙනා තද නින්දේ ය. තවමත් ගෙදර නොපැමිණි සැමියා කොයි වේලේ හෝ පැමිණ දොරට තට්ටු කරනු ඇතැයි සිතමින් ඇඳි පුටුවේ හිඳ ගෙන කිරා වැටෙමින් නින්දත් නොනින්දත් අතර කල්පනා කරමින් සිටි බිරියගේ සිතට දැන් දැන් බිය සහිත මූසල සිතුවිලි ගොඩ නැගෙමින් තිබිණි.

කෑම මේසයේ පිඟානත් පෙරළෙන සද්දයක් ඇගේ සවනේ වැකුණි. නැගිට ගොස් ඒ කුමක් දැයි බලන්නට පවා ඇගේ සිත උනන්දු ගතියක් දැක්වූයේ ද නැත. එහෙත් ඒ සැමියා ගේ රාත්‍රි ආහාරය බැවින් එය සොයා බලන්නට ලාම්පුව ද අතින් ගෙන ඈ කෑම කාමරයට ගියාය. ඒ වන විටත් මස් දීසිය සම්පූර්ණයෙන් කා අවසන් කොට තිබුණු කළු බළල් තඩියෙක් මේසය මතින් ඉවතට පැන ගියේය. මේ අද දවසේ සිදු වන්නේ මොනවාදැයි හිතා ගන්නට බැරි තරමින් අවුල් වී පැටළුණු සිතුවිලි වලින් යුතු බිරිය නැවතත් සාලයට පැමිණ පුටුවට බර දුන්නා ය. එදා රාත්‍රිය ද වෙනදාට වඩා මහා දිග එකක් විය.

යම්තමින් ඇටි කුකුළෙකු බුග් ගා හඬනු ඇසුණු අම්මා නැගිට ගොස් ළිප ගිනි දල්වා තේ වතුර වත් කළාය. තේ වත් කොට
“දරුවනේ නැගිටපල්ලා. තාත්තා තාමත් ගෙදර ආවේ නෑ” යි පැවසුවාය. දරු තිදෙනා ද වහා නැගිට තවමත් ගෙදර නොපැමිණි තාත්තා ගැන කතා කරමින් සිට යම්තම් එළිය වැටුණු විට තාත්තා සොයන්නට නිවසින් පිටත් වූහ.
ඔවුන් සමඟ පසු පසින් ආ බල්ලා බුරා ගෙන දුවනවාත් සමඟ ම නරි රෑනත් නෝක්කාඩු කියමින් පලා යනු දැක දරුවෝ එදෙස බැලූහ. දෙය්යනේ තාත්තා ගේ සිරුර යකඩ කොක්කේ තදින් ඇමිණි තිබෙනු දක්නට ලැබුණි.
මේ රන් බණ්ඩේ බව සහසුද්දෙන් ම හඳුනා ගන්නට තිබුණු ප්‍රධාන සාධකය වූයේ ඔහු හැඳ සිටි සරමේ ඉරි ගිය රෙදි කැබලි ය. නරි මිනී මසට ඒ තරමට ම ගිජු ය.

රචනා කලේ මතුගම මහින්ද විජේතිලක
  • Stumble This
  • Fav This With Technorati
  • Add To Del.icio.us
  • Digg This
  • Add To Facebook
  • Add To Yahoo

0 comments:

Post a Comment