Tuesday, January 31, 2012

දුගඳක් රැගෙන රැයේ දී කාමරයට එන ගැහැනිය

2010 අප්‍රේල් මස 04 වන දින සිළුමිණ පුවත් පතේ පලවූ ලිපියකි මේ...




මිනිසා මරණයට පත්වන විට සම්මුති වශයෙන් “ආත්මය” යැයි පිළිගෙන තිබුණු ධර්මතාවය සිරුරෙන් නික්ම යයි, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ සවිස්තරව පැහැදිලි කරන පරිදි මිනිසා තුළ ආත්මය යැයි ස්ථිරව පවතින දෙයක් නොමැති බවත් මෙසේ ශරීරයෙන් නික්ම යන්නේ උපදානස්කන්ධ සංයුතිය බවත්, එය සරලව හඳුන්වනවා නම් එයට “පුද්ගල අනන්‍යතාවය” යැයි නම් කළ හැකි බවත් වදාරති.

මේ පුද්ගල අනන්‍යතාවය තුළ තමන් විසින් මේ ලොව ජීවත්වීමේ දී දැඩිව සිතින් අල්ලා ගෙන සිටිනු ලැබූ මම ය මාගේ යැයි ඇති කැරගත් සංයුතියක් ඒ පුද්ගල භාවය සමඟ නික්ම යයි.

කාම ලෝකයක් වන මේ මනුෂ්‍ය ලෝකයේ අධර්ම රාගී වූ මිනිසා විෂම ලෝකය හා මිත්‍යා දෘෂ්ටිය හේතු කොට ගෙන මෙසේ දැඩිව සිතින් අල්ලා ගෙන සිටින තණ්හාව, ද්වේෂය හා මෝහය මිශ්‍ර වූ පාපී සංකල්පයන් නිසා පුද්ගලයා ඊළඟට උපදින්නේ දුගතියකමය.

ඒ දුගතිගාමී සත්ත්වයා තමන්ගේ පාපී සිතුවිලි සංයුතිය නිසා එසේ දැඩිව සිතින් අල්ලා ගත් ඉඩකඩම් දේපළ නිවාස හා පුද්ගලයන් අසුරු කොට ගෙන ප්‍රේතාදි භවයන්හි උපත ලබයි. මේත් එවැනි කතාවකි.

පියදාස මුදලාලි ඉතා වෙහෙස මහන්සිව වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. බිරිය, පුතෙකු සහ දියණියකගෙන් යුතු කුඩා පවුල සැපවත්ව පෝෂණය කළේය. තමන්ගෙන් පසු මේ ව්‍යාපාරය හා දේපළ ආරක්ෂා කිරීමට සිටින පුතණුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඔහු යහමඟ යැවීමට අවශ්‍ය සෑම උත්සාහයක් ම ගත්තෝ ය.

එකාකාරී කාර්ය බහුල විවේකයෙන් තොර ජීවිතයක් ගෙවූ පියදාස මුදලාලිට එය හේතුකොට ගෙන දියවැඩියා රෝගය වැළඳුණි. දියවැඩියා රෝගියෙකුට අවශ්‍ය මානසික නිස්කලංක භාවය මේ ව්‍යාපාර කටයුතු නිසා කොහෙත්ම ඔහුට ලබාගත නොහැකි විය.

ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් නොතිබුණු බැවින් දියවැඩියාවත් සමඟ අත්වැල් බැඳගෙන එන හෘදයාබාධයක් ද ඔහු කරා පැමිණියේ හිටි හැටියේ පරලොව යන්නට සිදුවිය.

පියදාස මුදලාලිගේ මරණයෙන් පසු වෙළඳසල ඔහුගේ එක ම පුතණුවන් වූ නිමල්ට පවත්වා ගෙන යෑමට සිදු විය. වෙළඳ සලේ සිට කිලෝමීටර බාගයක් තරම් වූ දුරින් පිහිටි නිවසේ සිටි මෑණියන් හෝ නැගණිය විසින් ඔහුට අවශ්‍ය ආහාර ටික හෝ වතුර ටික සපයන්නට යෙදුණි. රාත්‍රියට වෙළඳසල වසා නිවසට ගොස් ආහාර ගෙන ආපසු පැමිණ වෙළඳ සලෙහි ම නිදා ගත්තේය.

ගමේ ඥාති මිත්‍රාදීන්ගේ යුතුකම් අවශ්‍යතා සපුරාලීම ද ඔහුටම පැවරුණි. නිමල්ගේ සමීප මිතුරෙකු ද ඔහුගේ ඇසුරෙහි සිටි අතර කාටත් හොරා ඉඳහිට මත්පැන් ටිකක් පානය කරන අවස්ථා ද පැවති නමුත් මෑණියන්ට හා නැගණියට ආරංචි වේ යැයි බියෙන් නිමල් බොහෝ දුරට ප්‍රවේශම් විය.

මේ ගම නිමල්ගේ මවගේ උපන් ගම වූ අතර පියා පිටගමකින් පැමිණ විවාහ වී මේ ගමේම පදිංචි වූවෙකි. පියාගේ ගම් ප්‍රදේශයේ ඔහුට දුරින් ඥාතියෙකු වූ ගුණසේකර මාමා ද නිමල්ගේ දියුණුවට අත හිත දුන් අයෙකි.

මේ වැඩිහිටියාගේ හිතවත්කම නිමල්ට මෙන් ම මවට හා නැගණියට ද ශක්තියක් විය. ගුණසේකරට සහ ඔහුට වඩා තරුණ වූ බිරියට දරුවන් නොසිටි බැවින් ඔවුහු නිමල්ගේ පවුලේ අය සමඟ සමීපව ඇසුරු කළහ.

ගුණසේකර තමන්ගේ අවශ්‍යතාවයක් සඳහා ගමනක් ගොස් පැමිණෙමින් සිටියදී සුනාමියට හසුවී මිය ගියේය. ඔහුගේ අවමඟුල් කටයුතු නිමල් සහ පවුලේ අයගේ මැදිහත්වීමෙන් සිදු කැරිණි.

ගුණසේකරගේ බිරියගේ තනි නොතනියට ඇගේ මව පැමිණ ඇය සමඟ ජීවත් වූවාය. ගුණසේකර නැන්දා ද සිය නිවසේ හදන විශේෂ කෑම බීමවලින් කොටසක් පියදාස මුදලාලිගේ නිවසට ගෙන ගොස් දුන්නාය. නැතහොත් කඩේට ගොස් නිමල් පුතාට දුන්නාය.

මෙසේ පවුල් දෙකේ ඇයි හොඳයිකම් වැඩි වෙමින් කාලය ඉක්ම ගියේය. දිනක් රාත්‍රි ආහාරය සඳහා නිවසට ගොස් ආපසු පැමිණෙමින් සිටි නිමල් හදිසියේ කඩා වැටුණු වැස්සක් නිසා ගුණසේකර නැන්දාගේ නිවසට ගොඩ වැදුණේය.

සතුටු සාමීචියේ යෙදී කාලය ගෙවුණත් වැස්ස පෑයුවේ නැත. ගොරව ගොරවා වහින්නට විය. “මට නිදිමතයි දරුවනේ, මම නිදා ගන්න යනවා” යි ගුණසේකර නැන්දාගේමව නින්දට ගියාය. වර්ෂාව නම් පායන ලකුණක් පවා නැත. එන්න එන්න ම වැඩිය. විදුලිය කෙටීම් අකුණු පිපිරීම් සමඟ වැස්ස දිගට අල්ලන ලකුණු පහළ විය.

”මේ වැස්සේ යන්න බැහැ. මෙන්න මෙහේ නිදා ගෙන පාන්දරින් යන්න” නැන්දා යෝජනා කළාය. වෙන කරන්නට දෙයක් නැත. ඉදිරිපස කාමරයේ යහන නිමල් සඳහා සකස් විය. නිමල් කාමරයට ගොස් නින්දට සැරසුණේය.

නැන්දා ඇගේ කාමරයේ අල්මාරියෙන් නිමල්ට පොරවන්නට රෙද්දක් රැගෙන ආවාය. විදුලි කෙටීමත් සමඟ විදුලිය විසන්ධි වී කළුවර රජ වෙනවාත් සමඟම නුදුරින්ම අකුණක් පිපිරී ගියේය.

නිමල් අවදි කොට කිරි කෝප්පයක් සාදා බොන්නට දී පාන්දරින්ම කඩේට යවන්නට නැන්දා වග බලා ගත්තාය. දැන් සතියට කීප වරක් රාත්‍රි කෑම කා කඩේට එන අතරමඟ නතර වන්නට නිමල්ට සිදු වී ඇත.

මේ අතර නංගීගෙන් නිදහස්වීමේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙමින්, අම්මා සහ නිමල් අවශ්‍ය පියවර ගෙන මංගල යෝජනාවක් අනුව ඇය විවාහ කැර දුන්නාය. දැන් නිමල් කඩේ වැඩට වෙන් වූ පසු අම්මා තනියමය.

මේ අතර නිමල්ගේ රාත්‍රි අතරමඟ නවාතැන් පොළ ගැනද අම්මාගේ කණට රහස් තොරතුරු පැමිණෙමින් තිබුණි. මේ වන විට ගුණසේකර නැන්දාගේ සිත දැඩි සේ නිමල් කෙරෙහි බැඳී තිබිණි. ගුණසේකර නැන්දාගේ දුක් ගැනවිලි ආයාචනා සැලකිලි බොහෝය.

ඒ අතරම අම්මාත් නංගීත් මස්සිනාත් නිමල්ගේ අනාගතය හා අම්මාගේ තනි නොතනිය පිළිබඳ ක්‍රියාත්මක කරන සැලසුම් ඉදිරියේ නිමල්ට අවනත නොවී සිටින්නට නොහැකි විය. නිමල් සඳහා සොයා බලා සුදුසු යැයි තීරණය කළ මනාලියක් බලන්නට පවුලේ සාමාජිකයන් සමඟ යන්නට නිමල් සිදු විය.

මනාලිය ගැන කියන්නට වරදක් නැත. ප්‍රසන්නය. පියකරුය. දෙපාර්ශවය ගැලපෙයි. මනාලිය බලන්නට ගොස් පැමිණි දින හැන්දෑවේ කඩේට ආ ගුණසේකර නැන්දා කිසිවෙකු නැති අවස්ථාවක් බලා නිමල්ගේ පාමුල හඬා වැටුණාය.

කෙසේ වුවද මව, නැගණිය හා මස්සිනාගේ සැලසුම් ඉදිරිපිට නිමල්ට ගත හැකි පියවරක් නොවීය. එසේම මනාලියගේ ප්‍රසන්නතාව හා පවුල් ශක්තිය පිළිබඳ නිමල්ටත් හොරෙන් නිමල්ගේ යටිසිත ක්‍රියාත්මකව පවතී.

ගුණසේකර නැන්දාගේ සිත කොයිතරම් දැඩිසේ නිමල් කෙරෙහි බැඳී ඇත්දැයි කිව නොහැකි තරම් වූයේ නිමල් දකිත් දකිත් ම එය දරුණු වූයේ කිසිවෙකුට නොදන්වා ගෙය සහ ඉඩම විකුණා දමා මෑණියන් සමඟ තමන්ගේ ගමේ පදිංචියට ගියාය.

ඇගේ මානසික පීඩනය ශාරීරිකව බලපෑවේ ආහාර අරුචියෙනි. ආහාරපාන අපි‍්‍රය වූ ඇය බලාගත් අතේ බලාගෙන සිනහ වෙන්නටත් හඬන්නටත් වූවාය. වෛද්‍ය ප්‍රතිකාර කළ ද සුවයක් නොලද ඇය දිනක් රාත්‍රියේ ගෙල වැළලා ගෙන මිය ගොස් සිටියාය.

එයින් ද මාස තුනකට පමණ පසු නිමල් ජයට මඟුල් කා මනාලිය පි‍්‍රයංකා කැන්දාගෙන ආවේය. මේ තරුණ යුවල සතුටින් ජීවත් වූයේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි.

හැන්දෑවට වෙළෙඳ සල වසා පා පැදියෙන් නිවසට ගොස් රාත්‍රි ආහාරය ගෙන රූපවාහිනිය නරඹා නින්දට යෑම ඔවුන්ගේ සිරිතය. දිනක් හැන්දෑ වී වෙළෙඳ සල වසා නිමල් නිවස බලා ගමන් කරද්දී ගුණසේකරලා පදිංචිව සිටි නිවස අසල දී ඔහු ගේ පාපැදියට බරක් පැටවෙනවා සේ ඔහුට දැනිණි.

එය ගණනකට නොගත් ඔහු වෙනදා මෙන් ගෙදර ගොස් රාත්‍රි කෑම කා රූපවාහිනිය නරඹා නිදා ගන්නට සැරසුණි. පි‍්‍රයංකා ද යහන්ගත වීමට පෙර විදුලි පහන නිවා දැම්මාය. කාමරය අඳුරෙන් වසා ගන්නවාත් සමඟ ම කෙනෙකුට ඉවසා ගත නොහැකි තරම් දුර්ගන්ධයක් පි‍්‍රයංකාට දැනුණි.

පි‍්‍රයංකා ඒ දුර්ගන්ධය ගැන පරීක්ෂා කරන විට එය නිමල් අසලින් ම වහනය වන බව දැනුණි. ඒ වන විටත් නිමල් තද නින්දේය. ඇඳට වැටුණු සැනින් නිදා ගැනීම නිමල්ගේ පුරුද්ද නූනත් අද නිමල් තද නින්දේය. පි‍්‍රයංකා ඔහුගේ සිරුරට අත තබා සොලවා අවදි කරන්නට උත්සාහ කළත් ඔහු අවදි කළ නොහැකි විය.

පි‍්‍රයංකා ඇඳෙන් නැගිට මෑණියන් (නැන්දණිය) සිටි කාමරයට ගියාය. ඇය ඒ වනවිටත් නින්දට ගොස් සිටියේ ද නැත.

”අම්මේ! හරි පුදුමයක්නෙ. නිමල් ළඟින් හරිම ජරා ගඳක් දැනෙනවා. මට නම් වමනය යන තරමට ජරා ගඳක්. එන්නකො අම්මේ! අපේ කාමරයට ඇවිත් ටිකක් බලන්නැ” යි කීවාය. නැන්දණිය ද ලේලිය සමඟ නිමල් නිදා සිටි කාමරයට පැමිණියාය.

”ඇයි... මේ මොකද? මහ ජරා ගඳක් නෙ”යි ඇය ද නාසය වසා ගෙන කතා කළාය. නැන්දා ලේලි දෙදෙනාම වෙහෙසී නිමල් අවදි කරවා මේ ගැන පැහැදිලි කළ අතර නිමල්ට ද ඒ ගඳ දැනෙන්නට වූයෙන් ඔහු නාන කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම් උනා දමා සුවඳ සබන් ගා ඇඟ සෝදා වෙනත් පිරිසුදු ඇඳුම් ඇඳගෙන නින්දට ගියේය.

විදුලි පහන නිවනවාත් සමඟ නැවතත් දුර්ගන්ධය නික්මෙන්නට විය. පසු දින ද රාත්‍රි මේ දුර්ගන්ධය හමන්නට වූයෙන් එය ඉවසා සිටිය නොහැකි වූයෙන් පි‍්‍රයංකා නැන්දනියගේ කාමරයට ගොස් නිදා ගන්නට වූවාය. මේ තත්ත්වය දිනපතා ම සිදු වූයෙන් පවුලේ විශේෂ අවධානයටත් සාකච්ඡාවටත් භාජනය විය.

”මට නම් කවදාවත් නැති තරම් සනීපදායක නින්දක් යනවා. පාන්දර ඇහැ ඇරෙනකම්ම සනීපෙට තනි නින්දට නින්ද යනවා”යි නිමල් තමන්ගේ නින්ද ගැන පැහැදිලි කළේය.




”ලයිට් නිවන කොට ම කවුදෝ ලස්සන ගෑනියක් මගේ ළඟට එනවා. ඒ එක්කම මට හැම දෙයක් ම අමතක වෙනවා. ඊට පස්සේ හරිම සනීපට නින්ද යනවා”යි බිරිය සමඟ කීවේය. ඇත්තට නිමල් කරා ආවේ ගුණසේකර නැන්දාය. ඔහු ඒ බවක් කීවේ නැත.

මෙයින් මාස ගණනකට පෙර මිය ගිය ඇය මෙසේ එන්නේ කෙසේ දැයි විමසා බලන්නට පවා ඔහු උනන්දු වූයේ නැත. ඔහු ඒ සුවදායක නින්දටම වහල් වී සිටියේය. මෙය පි‍්‍රයංකාට නම් බරපතළ ප්‍රශ්නයකි. ඇය තම සැමියා ළඟට රාත්‍රිය රූමත් කාන්තාවක් පැමිණෙන කතාව නිමල්ට හොරෙන් නැද්දම්මාගේ කනේ තැබුවාය.

මේ තරුණ අඹුසැමි යුවළ කාමර දෙකක නින්දට වී මාසයක් පමණ ඉක්ම ගියේය. සෑම දිනකම නින්දට සැරසී කාමරයට ගොස් විදුලි පහන නිවූ සැණින් නිමල් ගේ ළඟින් වහනය වන දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පි‍්‍රයංකා නැන්දණියගේ කාමරයට ගොස් නිදා ගත්තාය.

ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නටද සිදු විය. එහෙත් එසේ පිළිවෙත් සිදු කළත් එය දින කීපයකට වඩා ඔරොත්තු දුන්නේ නැත. නිවසේ මස් මාලු කරවල බිත්තර වැනි දෙයක් සකස් කළොත් එදාට සියලු ආරක්ෂාවන් අවසන්ය. නිමල් ළඟින් මේ මළ පෙරේත ගඳ වහනය වෙන්නට විය. දැන් දැන් නිමල්ගේ සිරුර ද වැහැරෙන්නට පටන් ගෙන ඇත.

තමන්ට ආදරයෙන් සැලකූ ගුණසේකර නැන්දා තමාගේ විවාහය නිසා දුකට පත්ව ගම අතහැර ගිය බව නිමල් දනී. ඒ වියෝවෙන්ම ඇය මානසික රෝගිණියක් වී සිය දිවි හානි කැර ගත්තේ ද තමන් කෙරෙහි පැවති දැඩි ඇලීම නිසා බව ද ඔහු දනී.

ගුණසේකර නැන්දා එදා සිටි අයුරින් ම රාත්‍රියට තමන් කරා පැමිණෙන ගමන ඒ තරම් ගුණදායක නොවන බව ද ඔහු දනී. තමන්ට ද ජීවත්වීමේ අයිතිය ඇතැයි ද අහිංසක බිරිඳ පි‍්‍රයංකාට ද මෙහෙම ගියොත් ජීවිතය එපා විය හැකියැයි ද නිමල් දනී.

ගුණසේකර නැන්දාගේ ආත්මය තමන් කරා පැමිණෙන කතාව බිරියට හෝ මෑණියන්ට නොකියා විශ්වාසී මිතුරෙකු සමඟ නිමල් ඇදුරකු සොයා ගියේය.

සිතින් දැඩිව අල්ලා ගැනීම උපාදානයයි. එය සංසාර ගමන දිගු කරයි. එසේම දුගතිගාමීව තමන් දුක් විඳින අතර අනුන්ට ද බලපෑම් කරයි.
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක
  • Stumble This
  • Fav This With Technorati
  • Add To Del.icio.us
  • Digg This
  • Add To Facebook
  • Add To Yahoo

0 comments:

Post a Comment