Tuesday, January 31, 2012

දුගඳක් රැගෙන රැයේ දී කාමරයට එන ගැහැනිය

0 comments
2010 අප්‍රේල් මස 04 වන දින සිළුමිණ පුවත් පතේ පලවූ ලිපියකි මේ...




මිනිසා මරණයට පත්වන විට සම්මුති වශයෙන් “ආත්මය” යැයි පිළිගෙන තිබුණු ධර්මතාවය සිරුරෙන් නික්ම යයි, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ සවිස්තරව පැහැදිලි කරන පරිදි මිනිසා තුළ ආත්මය යැයි ස්ථිරව පවතින දෙයක් නොමැති බවත් මෙසේ ශරීරයෙන් නික්ම යන්නේ උපදානස්කන්ධ සංයුතිය බවත්, එය සරලව හඳුන්වනවා නම් එයට “පුද්ගල අනන්‍යතාවය” යැයි නම් කළ හැකි බවත් වදාරති.

මේ පුද්ගල අනන්‍යතාවය තුළ තමන් විසින් මේ ලොව ජීවත්වීමේ දී දැඩිව සිතින් අල්ලා ගෙන සිටිනු ලැබූ මම ය මාගේ යැයි ඇති කැරගත් සංයුතියක් ඒ පුද්ගල භාවය සමඟ නික්ම යයි.

කාම ලෝකයක් වන මේ මනුෂ්‍ය ලෝකයේ අධර්ම රාගී වූ මිනිසා විෂම ලෝකය හා මිත්‍යා දෘෂ්ටිය හේතු කොට ගෙන මෙසේ දැඩිව සිතින් අල්ලා ගෙන සිටින තණ්හාව, ද්වේෂය හා මෝහය මිශ්‍ර වූ පාපී සංකල්පයන් නිසා පුද්ගලයා ඊළඟට උපදින්නේ දුගතියකමය.

ඒ දුගතිගාමී සත්ත්වයා තමන්ගේ පාපී සිතුවිලි සංයුතිය නිසා එසේ දැඩිව සිතින් අල්ලා ගත් ඉඩකඩම් දේපළ නිවාස හා පුද්ගලයන් අසුරු කොට ගෙන ප්‍රේතාදි භවයන්හි උපත ලබයි. මේත් එවැනි කතාවකි.

පියදාස මුදලාලි ඉතා වෙහෙස මහන්සිව වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියේය. බිරිය, පුතෙකු සහ දියණියකගෙන් යුතු කුඩා පවුල සැපවත්ව පෝෂණය කළේය. තමන්ගෙන් පසු මේ ව්‍යාපාරය හා දේපළ ආරක්ෂා කිරීමට සිටින පුතණුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඔහු යහමඟ යැවීමට අවශ්‍ය සෑම උත්සාහයක් ම ගත්තෝ ය.

එකාකාරී කාර්ය බහුල විවේකයෙන් තොර ජීවිතයක් ගෙවූ පියදාස මුදලාලිට එය හේතුකොට ගෙන දියවැඩියා රෝගය වැළඳුණි. දියවැඩියා රෝගියෙකුට අවශ්‍ය මානසික නිස්කලංක භාවය මේ ව්‍යාපාර කටයුතු නිසා කොහෙත්ම ඔහුට ලබාගත නොහැකි විය.

ව්‍යාපාරයෙන් තොර ජීවිතයක් නොතිබුණු බැවින් දියවැඩියාවත් සමඟ අත්වැල් බැඳගෙන එන හෘදයාබාධයක් ද ඔහු කරා පැමිණියේ හිටි හැටියේ පරලොව යන්නට සිදුවිය.

පියදාස මුදලාලිගේ මරණයෙන් පසු වෙළඳසල ඔහුගේ එක ම පුතණුවන් වූ නිමල්ට පවත්වා ගෙන යෑමට සිදු විය. වෙළඳ සලේ සිට කිලෝමීටර බාගයක් තරම් වූ දුරින් පිහිටි නිවසේ සිටි මෑණියන් හෝ නැගණිය විසින් ඔහුට අවශ්‍ය ආහාර ටික හෝ වතුර ටික සපයන්නට යෙදුණි. රාත්‍රියට වෙළඳසල වසා නිවසට ගොස් ආහාර ගෙන ආපසු පැමිණ වෙළඳ සලෙහි ම නිදා ගත්තේය.

ගමේ ඥාති මිත්‍රාදීන්ගේ යුතුකම් අවශ්‍යතා සපුරාලීම ද ඔහුටම පැවරුණි. නිමල්ගේ සමීප මිතුරෙකු ද ඔහුගේ ඇසුරෙහි සිටි අතර කාටත් හොරා ඉඳහිට මත්පැන් ටිකක් පානය කරන අවස්ථා ද පැවති නමුත් මෑණියන්ට හා නැගණියට ආරංචි වේ යැයි බියෙන් නිමල් බොහෝ දුරට ප්‍රවේශම් විය.

මේ ගම නිමල්ගේ මවගේ උපන් ගම වූ අතර පියා පිටගමකින් පැමිණ විවාහ වී මේ ගමේම පදිංචි වූවෙකි. පියාගේ ගම් ප්‍රදේශයේ ඔහුට දුරින් ඥාතියෙකු වූ ගුණසේකර මාමා ද නිමල්ගේ දියුණුවට අත හිත දුන් අයෙකි.

මේ වැඩිහිටියාගේ හිතවත්කම නිමල්ට මෙන් ම මවට හා නැගණියට ද ශක්තියක් විය. ගුණසේකරට සහ ඔහුට වඩා තරුණ වූ බිරියට දරුවන් නොසිටි බැවින් ඔවුහු නිමල්ගේ පවුලේ අය සමඟ සමීපව ඇසුරු කළහ.

ගුණසේකර තමන්ගේ අවශ්‍යතාවයක් සඳහා ගමනක් ගොස් පැමිණෙමින් සිටියදී සුනාමියට හසුවී මිය ගියේය. ඔහුගේ අවමඟුල් කටයුතු නිමල් සහ පවුලේ අයගේ මැදිහත්වීමෙන් සිදු කැරිණි.

ගුණසේකරගේ බිරියගේ තනි නොතනියට ඇගේ මව පැමිණ ඇය සමඟ ජීවත් වූවාය. ගුණසේකර නැන්දා ද සිය නිවසේ හදන විශේෂ කෑම බීමවලින් කොටසක් පියදාස මුදලාලිගේ නිවසට ගෙන ගොස් දුන්නාය. නැතහොත් කඩේට ගොස් නිමල් පුතාට දුන්නාය.

මෙසේ පවුල් දෙකේ ඇයි හොඳයිකම් වැඩි වෙමින් කාලය ඉක්ම ගියේය. දිනක් රාත්‍රි ආහාරය සඳහා නිවසට ගොස් ආපසු පැමිණෙමින් සිටි නිමල් හදිසියේ කඩා වැටුණු වැස්සක් නිසා ගුණසේකර නැන්දාගේ නිවසට ගොඩ වැදුණේය.

සතුටු සාමීචියේ යෙදී කාලය ගෙවුණත් වැස්ස පෑයුවේ නැත. ගොරව ගොරවා වහින්නට විය. “මට නිදිමතයි දරුවනේ, මම නිදා ගන්න යනවා” යි ගුණසේකර නැන්දාගේමව නින්දට ගියාය. වර්ෂාව නම් පායන ලකුණක් පවා නැත. එන්න එන්න ම වැඩිය. විදුලිය කෙටීම් අකුණු පිපිරීම් සමඟ වැස්ස දිගට අල්ලන ලකුණු පහළ විය.

”මේ වැස්සේ යන්න බැහැ. මෙන්න මෙහේ නිදා ගෙන පාන්දරින් යන්න” නැන්දා යෝජනා කළාය. වෙන කරන්නට දෙයක් නැත. ඉදිරිපස කාමරයේ යහන නිමල් සඳහා සකස් විය. නිමල් කාමරයට ගොස් නින්දට සැරසුණේය.

නැන්දා ඇගේ කාමරයේ අල්මාරියෙන් නිමල්ට පොරවන්නට රෙද්දක් රැගෙන ආවාය. විදුලි කෙටීමත් සමඟ විදුලිය විසන්ධි වී කළුවර රජ වෙනවාත් සමඟම නුදුරින්ම අකුණක් පිපිරී ගියේය.

නිමල් අවදි කොට කිරි කෝප්පයක් සාදා බොන්නට දී පාන්දරින්ම කඩේට යවන්නට නැන්දා වග බලා ගත්තාය. දැන් සතියට කීප වරක් රාත්‍රි කෑම කා කඩේට එන අතරමඟ නතර වන්නට නිමල්ට සිදු වී ඇත.

මේ අතර නංගීගෙන් නිදහස්වීමේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙමින්, අම්මා සහ නිමල් අවශ්‍ය පියවර ගෙන මංගල යෝජනාවක් අනුව ඇය විවාහ කැර දුන්නාය. දැන් නිමල් කඩේ වැඩට වෙන් වූ පසු අම්මා තනියමය.

මේ අතර නිමල්ගේ රාත්‍රි අතරමඟ නවාතැන් පොළ ගැනද අම්මාගේ කණට රහස් තොරතුරු පැමිණෙමින් තිබුණි. මේ වන විට ගුණසේකර නැන්දාගේ සිත දැඩි සේ නිමල් කෙරෙහි බැඳී තිබිණි. ගුණසේකර නැන්දාගේ දුක් ගැනවිලි ආයාචනා සැලකිලි බොහෝය.

ඒ අතරම අම්මාත් නංගීත් මස්සිනාත් නිමල්ගේ අනාගතය හා අම්මාගේ තනි නොතනිය පිළිබඳ ක්‍රියාත්මක කරන සැලසුම් ඉදිරියේ නිමල්ට අවනත නොවී සිටින්නට නොහැකි විය. නිමල් සඳහා සොයා බලා සුදුසු යැයි තීරණය කළ මනාලියක් බලන්නට පවුලේ සාමාජිකයන් සමඟ යන්නට නිමල් සිදු විය.

මනාලිය ගැන කියන්නට වරදක් නැත. ප්‍රසන්නය. පියකරුය. දෙපාර්ශවය ගැලපෙයි. මනාලිය බලන්නට ගොස් පැමිණි දින හැන්දෑවේ කඩේට ආ ගුණසේකර නැන්දා කිසිවෙකු නැති අවස්ථාවක් බලා නිමල්ගේ පාමුල හඬා වැටුණාය.

කෙසේ වුවද මව, නැගණිය හා මස්සිනාගේ සැලසුම් ඉදිරිපිට නිමල්ට ගත හැකි පියවරක් නොවීය. එසේම මනාලියගේ ප්‍රසන්නතාව හා පවුල් ශක්තිය පිළිබඳ නිමල්ටත් හොරෙන් නිමල්ගේ යටිසිත ක්‍රියාත්මකව පවතී.

ගුණසේකර නැන්දාගේ සිත කොයිතරම් දැඩිසේ නිමල් කෙරෙහි බැඳී ඇත්දැයි කිව නොහැකි තරම් වූයේ නිමල් දකිත් දකිත් ම එය දරුණු වූයේ කිසිවෙකුට නොදන්වා ගෙය සහ ඉඩම විකුණා දමා මෑණියන් සමඟ තමන්ගේ ගමේ පදිංචියට ගියාය.

ඇගේ මානසික පීඩනය ශාරීරිකව බලපෑවේ ආහාර අරුචියෙනි. ආහාරපාන අපි‍්‍රය වූ ඇය බලාගත් අතේ බලාගෙන සිනහ වෙන්නටත් හඬන්නටත් වූවාය. වෛද්‍ය ප්‍රතිකාර කළ ද සුවයක් නොලද ඇය දිනක් රාත්‍රියේ ගෙල වැළලා ගෙන මිය ගොස් සිටියාය.

එයින් ද මාස තුනකට පමණ පසු නිමල් ජයට මඟුල් කා මනාලිය පි‍්‍රයංකා කැන්දාගෙන ආවේය. මේ තරුණ යුවල සතුටින් ජීවත් වූයේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි.

හැන්දෑවට වෙළෙඳ සල වසා පා පැදියෙන් නිවසට ගොස් රාත්‍රි ආහාරය ගෙන රූපවාහිනිය නරඹා නින්දට යෑම ඔවුන්ගේ සිරිතය. දිනක් හැන්දෑ වී වෙළෙඳ සල වසා නිමල් නිවස බලා ගමන් කරද්දී ගුණසේකරලා පදිංචිව සිටි නිවස අසල දී ඔහු ගේ පාපැදියට බරක් පැටවෙනවා සේ ඔහුට දැනිණි.

එය ගණනකට නොගත් ඔහු වෙනදා මෙන් ගෙදර ගොස් රාත්‍රි කෑම කා රූපවාහිනිය නරඹා නිදා ගන්නට සැරසුණි. පි‍්‍රයංකා ද යහන්ගත වීමට පෙර විදුලි පහන නිවා දැම්මාය. කාමරය අඳුරෙන් වසා ගන්නවාත් සමඟ ම කෙනෙකුට ඉවසා ගත නොහැකි තරම් දුර්ගන්ධයක් පි‍්‍රයංකාට දැනුණි.

පි‍්‍රයංකා ඒ දුර්ගන්ධය ගැන පරීක්ෂා කරන විට එය නිමල් අසලින් ම වහනය වන බව දැනුණි. ඒ වන විටත් නිමල් තද නින්දේය. ඇඳට වැටුණු සැනින් නිදා ගැනීම නිමල්ගේ පුරුද්ද නූනත් අද නිමල් තද නින්දේය. පි‍්‍රයංකා ඔහුගේ සිරුරට අත තබා සොලවා අවදි කරන්නට උත්සාහ කළත් ඔහු අවදි කළ නොහැකි විය.

පි‍්‍රයංකා ඇඳෙන් නැගිට මෑණියන් (නැන්දණිය) සිටි කාමරයට ගියාය. ඇය ඒ වනවිටත් නින්දට ගොස් සිටියේ ද නැත.

”අම්මේ! හරි පුදුමයක්නෙ. නිමල් ළඟින් හරිම ජරා ගඳක් දැනෙනවා. මට නම් වමනය යන තරමට ජරා ගඳක්. එන්නකො අම්මේ! අපේ කාමරයට ඇවිත් ටිකක් බලන්නැ” යි කීවාය. නැන්දණිය ද ලේලිය සමඟ නිමල් නිදා සිටි කාමරයට පැමිණියාය.

”ඇයි... මේ මොකද? මහ ජරා ගඳක් නෙ”යි ඇය ද නාසය වසා ගෙන කතා කළාය. නැන්දා ලේලි දෙදෙනාම වෙහෙසී නිමල් අවදි කරවා මේ ගැන පැහැදිලි කළ අතර නිමල්ට ද ඒ ගඳ දැනෙන්නට වූයෙන් ඔහු නාන කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම් උනා දමා සුවඳ සබන් ගා ඇඟ සෝදා වෙනත් පිරිසුදු ඇඳුම් ඇඳගෙන නින්දට ගියේය.

විදුලි පහන නිවනවාත් සමඟ නැවතත් දුර්ගන්ධය නික්මෙන්නට විය. පසු දින ද රාත්‍රි මේ දුර්ගන්ධය හමන්නට වූයෙන් එය ඉවසා සිටිය නොහැකි වූයෙන් පි‍්‍රයංකා නැන්දනියගේ කාමරයට ගොස් නිදා ගන්නට වූවාය. මේ තත්ත්වය දිනපතා ම සිදු වූයෙන් පවුලේ විශේෂ අවධානයටත් සාකච්ඡාවටත් භාජනය විය.

”මට නම් කවදාවත් නැති තරම් සනීපදායක නින්දක් යනවා. පාන්දර ඇහැ ඇරෙනකම්ම සනීපෙට තනි නින්දට නින්ද යනවා”යි නිමල් තමන්ගේ නින්ද ගැන පැහැදිලි කළේය.




”ලයිට් නිවන කොට ම කවුදෝ ලස්සන ගෑනියක් මගේ ළඟට එනවා. ඒ එක්කම මට හැම දෙයක් ම අමතක වෙනවා. ඊට පස්සේ හරිම සනීපට නින්ද යනවා”යි බිරිය සමඟ කීවේය. ඇත්තට නිමල් කරා ආවේ ගුණසේකර නැන්දාය. ඔහු ඒ බවක් කීවේ නැත.

මෙයින් මාස ගණනකට පෙර මිය ගිය ඇය මෙසේ එන්නේ කෙසේ දැයි විමසා බලන්නට පවා ඔහු උනන්දු වූයේ නැත. ඔහු ඒ සුවදායක නින්දටම වහල් වී සිටියේය. මෙය පි‍්‍රයංකාට නම් බරපතළ ප්‍රශ්නයකි. ඇය තම සැමියා ළඟට රාත්‍රිය රූමත් කාන්තාවක් පැමිණෙන කතාව නිමල්ට හොරෙන් නැද්දම්මාගේ කනේ තැබුවාය.

මේ තරුණ අඹුසැමි යුවළ කාමර දෙකක නින්දට වී මාසයක් පමණ ඉක්ම ගියේය. සෑම දිනකම නින්දට සැරසී කාමරයට ගොස් විදුලි පහන නිවූ සැණින් නිමල් ගේ ළඟින් වහනය වන දුර්ගන්ධය ඉවසා ගත නොහැකිව පි‍්‍රයංකා නැන්දණියගේ කාමරයට ගොස් නිදා ගත්තාය.

ඇදුරන් ගෙන්වා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නටද සිදු විය. එහෙත් එසේ පිළිවෙත් සිදු කළත් එය දින කීපයකට වඩා ඔරොත්තු දුන්නේ නැත. නිවසේ මස් මාලු කරවල බිත්තර වැනි දෙයක් සකස් කළොත් එදාට සියලු ආරක්ෂාවන් අවසන්ය. නිමල් ළඟින් මේ මළ පෙරේත ගඳ වහනය වෙන්නට විය. දැන් දැන් නිමල්ගේ සිරුර ද වැහැරෙන්නට පටන් ගෙන ඇත.

තමන්ට ආදරයෙන් සැලකූ ගුණසේකර නැන්දා තමාගේ විවාහය නිසා දුකට පත්ව ගම අතහැර ගිය බව නිමල් දනී. ඒ වියෝවෙන්ම ඇය මානසික රෝගිණියක් වී සිය දිවි හානි කැර ගත්තේ ද තමන් කෙරෙහි පැවති දැඩි ඇලීම නිසා බව ද ඔහු දනී.

ගුණසේකර නැන්දා එදා සිටි අයුරින් ම රාත්‍රියට තමන් කරා පැමිණෙන ගමන ඒ තරම් ගුණදායක නොවන බව ද ඔහු දනී. තමන්ට ද ජීවත්වීමේ අයිතිය ඇතැයි ද අහිංසක බිරිඳ පි‍්‍රයංකාට ද මෙහෙම ගියොත් ජීවිතය එපා විය හැකියැයි ද නිමල් දනී.

ගුණසේකර නැන්දාගේ ආත්මය තමන් කරා පැමිණෙන කතාව බිරියට හෝ මෑණියන්ට නොකියා විශ්වාසී මිතුරෙකු සමඟ නිමල් ඇදුරකු සොයා ගියේය.

සිතින් දැඩිව අල්ලා ගැනීම උපාදානයයි. එය සංසාර ගමන දිගු කරයි. එසේම දුගතිගාමීව තමන් දුක් විඳින අතර අනුන්ට ද බලපෑම් කරයි.
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

Monday, January 30, 2012

‘ඊළ’ යකා පන්නා ඇදුම සුව කළ හැටි

0 comments
මේ 2010 මාර්තු 28 සිළුමිණ පුවත්පතට මතුගම මහින්ද විජේතිලකයන් විසින් රචිත ලිපියකි. කියවා බලා ඔබගේ අදහස් දක්වා යන්නේනම් මැනවි.


ඇදීම වනාහි බර ඇදීම, කඹ ඇදීම, කඳු ඇදීම, දර දිය ඇදීම ආදී වූ අදින එකා ගේ හොඳ පණ යන කරුමක්කාර ක්‍රියාවකි. බූරුවා කොයි තරම් ඇද්දත් ඇදගන්නා එකාට මිස අදින ඌට ඇති කිසිම ප්‍රයෝජනයක් නැත. ඌට කැරට් අලයක රස විඳින්නට තබා කිට්ටු වෙන්නටවත් ලැබෙන්නේ නැත. ගොනා කොයි තරම් ඇද්දත් උගේ කර හම යනවා මිසක ඌට තඹ දොයිතුවක වාසියක් නැත.

උගේ පිටේ කොයි තරම් හකුරු පටවා ඇද්දත් ඒ ඇදිල්ලෙනුත් ඌට වැඩක් නැත. හකුරුවල රස බලන්නට ලැබෙන්නේ ම නැත. කුර ගෙවෙනවා මිසක කඳු මිටි වන්නේ ද නැත. දර දිය ඇදිල්ලත් එසේ ම ය. කවදාවත් අවසානයක් දැකිය නොහැකි කරුමක්කාර ඇදිල්ලකි. මේ දවස්වල ඇදිල්ලේ තරම හොඳින් ම දැක ගන්නට පුළුවන.

”සිළුමිණ” පත්‍රයට “ගුරුසේවයේ රස කතා” ලියන විශ්‍රාමික පාසල් ගුරුවරයකු වන බිංගිරියේ ඩී.එන්. දිසානායක මහතාද මෙවැනි ඇදිල්ලක් ඇද්දේය. ඇද්දේය. ඇද්දේය. දිගට ම පුදුමාකාර ඇදිල්ලක් ඇද්දේය. “අහෝ! දෙය්යනේ මෙහෙමත් ඇදිල්ලක්. මේ මනුස්සයා විඳින දුකක්” යැයි කම්මුලට අත තබාගෙන විස්සෝපයෙන් බලා සිටි දිසානායක නෝනා බැරි ම තැන කපුරු තෙල් ටිකක් මහත්තයා ගේ පපුවේ ඉලුවා ය.

බොහෝ ම කාලෙකින් නෝනා ගේ සිතේ කරුණා සිතුවිලි පහළ වී ඇතැයි සියුම් සහනයක් දැනුණත් ඇදිල්ලේ අමාරුව නම් අඩුවක් වූයේ නැත. අවුරුදු පහළොවක් ම ඉහළට ඇද්දේ ය. මේ ඇදිල්ලෙන් ම කොයි මොහොතේ පපුව පැලී යාවි දැයි බය හිතුන වාර අනන්තය.

ඒ ඇදුම රෝගයේ හැටිය. ඉංගිරිසි සිංහල ප්‍රතිකාර කොයි තරම් ගත්තත් අඩුවක් වූයේ ද නැත. හඳ මෝරන්නට මෝරන්නට ඇදිල්ල වේගවත් විය. දොස්තර මහත්තයා ගේ අවසාන තීන්දුව අනුව ඉන්හෙලරයක(Inhaler)ද පාවිච්චි කළේ ය. අන්තිමට එයත් ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්විය.


මේ අතර පරණ පිනක් මතුවීමෙන් දෝ දන්නා හඳුනන කෙනෙකුගෙන් “නාරම්මල වටවන වෙද ගෙදර” කෙම් ක්‍රමයකින් ඇඳුම රෝගය නිට්ටාවට සුවකැරවන බවට තොරතුරක් ලැබුණේ්ය.

මෙච්චර කාලයක් තිස්සේ වෙදකම්, ;හදකම්, ගුරුකම් ආදී “කම්” වලින් කිසිදු සහනයක් නොලැබ කළකිරීමෙන් පසු වූ දිසානායක මහත්මයා “කෙම්” වලින්වත් පිහිටක් බලාපොරොත්තුව නාරම්මල බලා ගියේය. අවුරුදු පහළොවක් තිස්සේ ඉහළට අදිමින් වින්ද දුක ඒ කෙම් ක්‍රමයෙන් අවසන් විය.

මේ අරුම පුදුම කෙම් ක්‍රමයෙන් ඇදුම රෝගය අවසන් කැර ගත් දිසානායක මහතා ඇදිල්ලේ අමාරුව දන්නා නිසාම තවත් සුවහසක් දුක් විඳින ඇදුම රෝගීන් පිළිබඳ හුදු කරුණාවෙන් මේ කෙම් ක්‍රමයේ වටිනාකම රටට හඬගා කියන්නට “සිළුමිණ” කර්තෘ මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

එය මා වෙත පැවරුණි. මම නාරම්මල වටවන වෙද ගෙදර සොයා ගියෙමි. නාරම්මල පේරගස් ඇල්ලේ හතළිස් හත් හැවිරිදි පී.ඇම්. අනුර පතිරාජ මහතා හමුවූයෙමි.

කෙම් ක්‍රමය යනු රහස් පිළියම් ක්‍රමයකි. උපචාර විධි මගින් කරන ආරක්ෂාවකි. රහස් ප්‍රතිකාර ක්‍රමයක් නිසා ඒ කුමක් දැයි අසා වැඩක් නැත. මඤ්ඤොක්කා රාත්තල මිසක ඉඩමේ හතර මායිම් අසා වැඩක් නැත. ඒ නිසා පතිරාජ මහතාගෙන් දැන ගත හැකි විස්තර ටික පමණක් දැන ගන්නට සාකච්ඡා කළෙමි.

”මහත්මයා! මම වෙද මහත්තයෙක් නොවෙයි. ඒත් මගේ පරම්පරාවේ තාත්තා සහ සීයලා පාරම්පරික වෛද්‍යවරු. ඒ නිසා අපේ ගෙදරට කියන්නේ “වටවන වෙද ගෙදර” කියා. ඇදුම රෝගය නිට්ටාවට සුව කරන මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ මීට කලින් පත්‍ර කීපයක පළවුණා. ඒකෙන් මට කරදරයක්මයි වුණේ. වෛද්‍ය ආයතනවලින් මට ලියුම් එන්නට හිටියා “ඔබ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවෙයි, ඕවා නීති විරෝධියි.

දිව්රුම් සහතික එවන්න” කියා. සමහරු මිනිස්සු මට වෙද මහත්තයා ය කියනවා. ඒත් මම වෛද්‍යවරයෙක් - වෙදකමක් කියන වචනවත් පාවිච්චි කරන්නේ නෑ. අවුරුදු ගණනාවක සිට අපේ ගෙදර “වටවන වෙද ගෙදර” කියා හඳුන්වන නිසා ලිපිනයේ සඳහන් වෙනවා. වෙන නම් මම කරන වෙදකමක් නෑ. ඉතින් මේ රටේ වෛද්‍යතිලක, වෛද්‍යසේකර, වෙදආරච්චි ආදී නම් භාවිතා කරන වෛද්‍යවරු නොවන අයත් ඉන්නවා. ඒ අයටත් විරුද්ධව මෙහෙම පියවර ගන්නවාද දන්නේ නෑ” යි පතිරාජ මහතා පළමුවම අවනඩුවක් කීවේය.

”පතිරාජ මහත්තයා, ඒ අපේ රටේ හැටි. මීට වඩා නීති විරෝධී, සමාජ විරෝධී, පරිසර විරෝධී දේවල් කොයි තරම් සිද්ධ වෙනවාද? ඒවා ගැන අන්ධයෝ වගේ බීරෝ වගේ ඉන්නා උදවිය මේ වගේ දේවල්වලට කස්තිරම් අල්ලනවා.

අද ගුප්ත විද්‍යාවන්ගෙන් විශ්මිත වැඩ කරන අය කොයිතරම් ඉන්නවාද? මේ අතරේ හොරුන් නැතුවා නොවෙයි. ඒත් අද මේ රටේ නිට්ටාවට සුව කළ නොහැකි රෝග යම් ප්‍රතිශතයක් හෝ මෙවැනි ගුප්ත විද්‍යාවන්ගෙන් සුවපත් වේ නම් ඒවා විවේචනය කරනවාට වඩා ඒවායේ සත්‍යතාව ගවේෂණය කොට දිරි ගැන්වීම යුතුකමක්. නොඑසේ නම් එයින් කිසිවකුට අයහපතක් නොවේ නම් බාධා නොකොට නිහඬවීමත් වැදගත්ය.

”ඉතින්! පතිරාජ මහත්මයා ඔබේ ප්‍රතිකාර ක්‍රමය ටිකක් විස්තර කරන්නැ” මම ඔහු අවදි කළෙමි.

”කලින් කීවා වගේ ම මේක වෙදකමක් නොවෙයි. බොන්න බෙහෙත් දෙන්නෙත් නෑ. ඇඟේ තවරන්න දෙන්නෙත් නෑ.”

ඇදුම රෝගය සෙම නිසා ඇතිවන රෝගයක්. සෙම සහ ඇදුමට බලපාන ඊළ නම් යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයා ගේ බලපෑම නිසා ඇදුම රෝගය බෙහෙත්වලින් සුවපත් කරන්න අමාරුයි. අප කරන කෙම් ක්‍රමයෙන් උපචාර විධි ක්‍රමයක් මගින් ඒ යක්ෂ බලවේගයෙන් ආරක්ෂා කිරීමයි කරන්නේ. මේ ප්‍රතිකාරයට දිය ගොඩ දෙකේ ම වැඩෙන ගස් වැල් කීපයක කොළ නියමිත ආකාරයකින් කඩා ගෙන ඇවිත් මාලයක් හදනවා.

ඇදුම රෝගියා ලවා ඒ මාලයට උඩින් පන්නනවා. ඊට පසු රෝගියා ආපසු ගෙදර යනවා. මම අර මාලය මගේ ගෙදර තියාගෙන දිනපතා මාසයක් උදේ සවස ඊළ නම් යක්ෂයා වෙනුවෙන් උපචාර විධි පවත්වනවා.

යළිත් රෝගියා ඊළඟ මාසයේත් ඇවිත් අලුත් කොළ මාලයක් උඩින් පැන යනවා. මේ ආකාරයෙන් මාස තුනක් ඇතුළත දින තුනක් පමණක් රෝගියා ඇවිත් යන්න ඕනෑ. ඒකයි ප්‍රතිකාරය. මා ඊට අර ගන්නේ සොබාවිකව කැලේ වැවෙන ඖෂධ වර්ග. ඖෂධ කීවාට බොන බෙහෙත්වලට නොගන්න ගස් වැල් සහ පැළෑටිවල කොළ. කිසිම බෙහෙතක් බොන්න දෙන්නේ නැහැ.

මම මේ ප්‍රතිකාරය පටන් ගත්තේ 1987 අවුරුද්දේ. දැනට රෝගීන් 12000 ක් පමණ මේ ක්‍රමයෙන් සුවපත් වී සිටිනවා. දිසාපතිවරු, වෛද්‍යවරු පවා සුවපත් වී ඉන්නවා. බිංගිරියේ දිසානායක මහත්මයාත් එයින් එක්කෙනෙක්.

”මේ ක්‍රමයෙන් සුවපත් නොවන අය නැද්ද?” මම ඇසීමි.

”ඉන්නවා. සියයට දහයක් පහළොවක් පමණ මේ ප්‍රතිකාර ක්‍රමයේ නියමිත පිළිවෙත් නොරැකීම නිසා සුව නොවුණු අය ඉන්නවා. ඊළ නම් යක්ෂයාගේ බලය පාලනය කිරීමට අප නියම කරන ආකාරයේ පිළිවෙත් රකින්න ඕනෑ. පන්සිල් රකින්න ඕනෑ.

මත්පැන්, මස් මාළු, කරවල, බිත්තර අනුභවයෙන් වළකින්න ඕනෑ. මළ ගෙවල්වල යෑමෙන් වළකින්න ඕනෑ. ඕවායෙන් ආරක්‍ෂා නොවන අයට සුවය ලැබෙන්නේ නෑ. ඇදුම රෝගය කියන්නේ මහා ජරා ලෙඩක්. හුස්ම ගන්න තියෙන අමාරුව ඇදුම රෝගියෙක් දැක්කා ම ඕනෑම කෙනෙකුට පෙනෙනවා. ඒ නිසා නියමිත පිළිවෙත් රකින්න ඕනෑ.

එක්තරා හෙදියක් ඇදුම රෝගය දරුණුවට හැදිලා බෙහෙත් – ඉන්හෙලර් අහන්නේ නැති තරමට දරුණු වෙලා මා ළඟට ගෙනාවා. පළමු දවසේම “කෙම” කරලා අපේ ගෙයින් එළියට බහින කොටම සනීප වුණා.

ඒත් ලෙඩේ දරුණුකම අමාරුව දන්නා නිසා මේ රෝගී කාන්තාව මාස තුනේ දවස් තුනම ඇවිත් සම්පූර්ණ සුවය ලැබුවා. ඒ වුණාට මාස හතරකින් නැවත රෝගය වැළදී ආපසු ආවා. නැවත එක් දින ප්‍රතිකාරකින් සුවපත් වී ගියා. මොකක්ද? ඇයට සිද්ධ වී තිබුණේ? ගෙදර වෙනත් කෙනෙකුගේ අමාරුවකට ඇදුරෙක් මතුරා දුන් තෙල් ටිකක් මෙයාත් ඔලුවේ ගාගෙන. ඒකෙන් නැවත ඇදුම හැදුණා. ඇය එවරත් සනීප වී ගියා.

නැවතත් මාස කීපයකින් ලෙඩේ හැදිලා ආවා. ඒ වතාවේ ඇගේ ගෙදර කිරිඅම්මාවරුන්ගේ දානයක් දීමේ දී කරපු වතාවත්වලට මේ හෙදියත් සහභාගි වෙලා. ඒකෙන් නැවතත් ලෙඩේ මතුවුණා.

ඒ සැරෙත් එක දවසකින් සුවපත් වී ගියා. මම ඇයට උපදෙස් දුන්නා මෙහෙම වෙන්නේ මොකද කියා හොයා බලන්න කියා. ඇය අඳුනක් බලන තැනකින් ඒ ගැන ඇහුවාම කියා තියෙනවා ඇයට හූනියමක් කැර තිබෙන බව. ඒ හූනියම ඇදුරන් ලවා කපා ඉවත් කළාම ඇයට නැවතත් ඇදුම වැළඳී නැහැ. ඇයට තරහකාරයෙක් කළ හූනියමේදී බැඳී සිට තියෙන්නේ ඊළ නම් යක්ෂයා.

”ඇදුම” රෝගය තදබල පාපකර්ම විපකයකට වැළදෙන පාපී ලෙඩක්. තදබල ග්‍රහ අපල තියෙන අය ඒවාට නියමිත පිළිවෙත් කැර ගන්න ඕනෑ. ඌරු මස් හොඳම නෑ. මේ ප්‍රතිකාර ක්‍රමයේදී ඊළ නම් යක්ෂ දෝෂය පුදුම ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙනවා. ඊළ යක්ෂයාට කේන්ති ගියාම ලෙඩාව සුවපත් කළ පුද්ගලයාගේ ඇඟට එනවා. එතකොට මටත් රෝග ලක්‍ෂණ පහළ වෙනවා. මේක භූත දෝෂයක් නිසා ඒ අවස්ථාවල තමන්ගේ ආරක්ෂාවටත් අවශ්‍ය කටයුතු කර ගන්න ඕනෑ. සමහර රෝගීන් සුවපත් වී ගොස් පින් දී ලියුම් එවනවා. සමහරු නම් එහෙම නෑ. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි. ඔන්න ඔය ටික තමයි මහත්තයෝ මට කියන්න තියෙන්නේ.

සමහරුන්ට ඇදුම සමඟ පීනසත් හැදෙනවා. මුල් අවස්ථාවේ නම් “කෙම්” ක්‍රමයෙන් ඒ දෙකම සුවපත් වෙනවා. මේ ප්‍රතිකාරය කළ අවස්ථාවේ සිට අවුරුදු පහළොවක් ඉදිරියටත් ආරක්ෂා වෙනවා. මෙයින් සුවපත් වී අවුරුදු දහය පහළොව ගතවූ අය ඉන්නවා. ඉදිරිපත් කරන්නත් පුළුවන්.

මේ ප්‍රතිකාරය කරන්නේ නොමිලයේ. සෙනසුරාදා දිනවල පමණයි. කලින් දැනුම් දී එනවා නම් අවශ්‍ය කොළ වර්ග සොයා ගෙන සූදානම් වෙන්න පුළුවන්. එහෙම නම් එක දවසකට විසි පහකට තිහකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ළදරු ළමා වැඩිහිටි අයටත්, අලුත් හා කල්ගිය රෝගීන්ටත් ප්‍රතිකාරය පිහිටනවා. මගේ දුරකතන අංකය 037 – 2249577 යැයි පතිරාජ මහතා කතාව අවසන් කළේය.

මෙවැනිම ප්‍රතිකාරයක් මතුගම, යටදොලවත්තේ විශ්‍රාමික ගුරුතුමියක් විසින් ද ඇදුම රෝගීන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබයි. එයට නම් දින ලබා ගැනීම ඉතා අපහසුය. ඒ ප්‍රතිකාරය කරන්නේ ඉරිදා දිනයත්, පසළොස්වක ;පාහොයත්, පාන්දරත් යන අවස්ථා තුනම ගැලපෙන දිනයක දී ය. මේ 2010 වර්ෂයට ම එවැනි දින ඇත්තේ එකම එක දවසකි. එය ඒ ගුරුතුමියට සිහිනෙන් කී ප්‍රතිකාරයකි. බොන බෙහෙතකි. එය ද දැනට අවුරුදු 15 – 20 පමණ කාලයක සිට පවත්වාගෙන යන අතර එයින් ද සුවපත් වූවෝ බොහෝය.

මේ ඇදුම රෝගයට සමහර අය නම්බුවට කියන්නේ “පපුවේ මහන්සිය” කියාය. ඇදුම ස්වසන පද්ධතියට සම්බන්ධ රෝගයකි. සෙම විකෘතිවීමෙන් වැළදේ. එයට භූතයෙකුගේ බලපෑමක් නැතැයි කියන්නට කාට පුළුවන්ද?

අපේ කාර්යය රටේ සැඟ වී තියෙන පියවි ඇසට සාමාන්‍යයෙන් නොපෙනෙන දේ පාඨකයාට සොයා දීමය. ඒවා ගවේෂණය කිරීම අපේ පුරුද්දයි. ඒවා පිළිබඳව පරීක්ෂා කැර බැලීම වගකිවයුත්තන්ගේ කාර්යයයි. ඒවා ගැන නුවණින් සොයා බලා ප්‍රයෝජන ගැනීම ඔබේ කාර්යයකි.
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

මං හිඟන්නෙක් නෙවෙයි ‘පිචා’

0 comments
මේ 2010 මාර්තු මස 21 වැනි දින සිළුමිණ පුවත්පතෙන්.


මෙය අතීත කතාවකි. අදින් දසක දහයකට පමණ පෙර ලංකාවේ පැවැති සමාජ තත්ත්වයෙන් බිඳක් සිහිපත් කිරීමකි. මේ කතාව මා සමඟ කීවේ බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාකඳුර රන්සෑගොඩ දිසාගෙ විල ජේමිස් අප්පු සිරිවර්ධන උපාසක මහතාය. ඔහුගේ කතාවෙන් එදා ලංකාවේ පැවැති තත්ත්වය යම් තරමකින් වර්තමාන සමාජයට වැටහීමක් ලබාදෙයි. මේ වන විට අනූහයවැනි වියේ පසුවන ඒ මහතා ඉතා ක්‍රියාශීලීය. යහපත් සිහියෙන් යුක්තය. පිරිසුදුය. ඔහු ස්වකීය මතකයේ වාන් දොරටු විවර කළේ මෙසේය.

”ඒ වෙන කොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. ඒ කාලෙ මිනිහකුගෙ මාසෙ පඩිය රුපියල් පහළොවයි. එදා හැන්දෑවෙ තාත්තා ගෙදර ඇවිත් අම්මා අතට මාසෙ පඩිය දුන්නා. අකුරු සෑත්තරේ බැරි වුණාට අම්මට සල්ලි ගණන් කරන්න හොඳට පුළුවන්. එදා වෙනදට වඩා පඩි සල්ලි අඩුයි කියලා අම්මා රණ්ඩුකරන්න පටන් ගත්තා. තාත්තා කිව්වා

”ගෑනියෙ පෙබරවාරි මාසෙට දවස් විසි අටයි. ඒ නිසා පඩිය රුපියලක් අඩුයි” කියලා. ඒත් අම්මා ඒක පිළිගත්තෙ නැහැ.

”උඹට මාව රවටන්න බෑ. උඹ කාටහරි සල්ලි දීලා” කියලා රණ්ඩු කළා. වෙලාව රෑ 10ට 11ට විතර ඇති. අම්මා අන්තිමට තාත්තාට කීවා,

”බැහැපිය දොට්ට” කියලා. තාත්තා නිදාගත්තෙ අගුපිලේ වැල් ඇඳේ. අම්මා තාත්තව දොට්ට දාලා දොර වැහුවා. තාත්තා මගේ ඔලුව අතගාලා නළල ඉම්බා. උදේ පාන්දර බලන කොට තාත්තා යන්න ගිහිල්ලා. ඊට පස්සෙ මගේ තාත්තව කවදාවත්ම දැක්කේ නෑ. තාත්තා තමන්ගේ ඉඩම කඩම, ගේ දොර, ඔක්කොම හිතින් අතහැරලා ගිහින්. ගියා ගියාමයි.

මම ඉස්කෝලේ ගියේ නෑ. අපේ ගමේ ඉස්කෝලයක් තිබුණෙත් නෑ. මගේ වයස දැන් අවුරුදු දොළහයි. ගමේ කෝපි කඩයක් තිබුණා. මම එතැනට යන්න පුරුදු වුණා. ඒ කඩේ මාමා පන්සලෙන් අකුරු සෑත්තරේ ඉගෙන ගත්ත කෙනෙක්. නැන්දා උදේට ආප්ප පුච්චනවා. ඒ නැන්දා මට ආදරෙයි. දවසක් ඒ නැන්දා මට කීවා “පුතේ හෙට පාන්දරින් වරෙන්” කියලා. මමත් පහුවදා පාන්දරින් කඩේට ගියා.

නැන්දා මට ආප්ප දෙකක්ම කන්න දීලා පුතේ හොඳ එකා වගේ මේ ආප්ප ටික විකුණාගෙන වරෙන්” කියලා ආප්ප වට්ටියක් මගේ ඔලුව උඩින් තිබ්බා. ඒ කාලෙ ආප්පයක් සතයයි. මම අල්ලපු ගමේ කෝපි කඩේ ළඟට යනකොට ආප්ප ටික විකිණිලා ඉවරයි. මම ආපහු ඇවිත් නැන්දට සල්ලි දෙනවා. මාමා ගල්ලෑල්ලක ගණන් හදලා සල්ලි ගණන හරි ද කියලත් බලනවා. ටික දවසක් යනකොට සමහරු සල්ලි හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා ණයටත් ආප්ප ගන්නවා. මම යාළුවන්ට අල්ලපු ගමේ කෝපි කඩෙන් කඩයප්පන් කාල තේ අරන් දෙනවා. එදාට නැන්දට කියනවා අහවලා අහවලා ණයට ආප්ප ගත්තා කියලා. කඩේ මාමට මේක තේරුණා. දවසක් මට කීවා,

”උඹ කොල්ලොත් එක්ක වණ්ඩු ගහන්නෙ නැතුව ණය සල්ලිත් ඔක්කොම එකතු කරගෙන එන්න ඕනෑ” කියලා. ඉතින් ණයට ආප්ප ගත්ත අය එදා මට සල්ලි දුන්නෙත් නෑ. සල්ලි නැතුව ආපහු යන්නත් බෑ. විකිණිච්ච ආප්පවල සල්ලිත් අරගෙන වට්ටිය කැලේට වීසි කරලා මම ගමෙන් පැනලා ගියා. මාතර සිට කොළඹට ශත 40යි කෝච්චියට. කොළඹ ටිකක් ඇවිදලා බැලුවා තාත්තා ගැන හොයාගන්න බැරිවුණා. කොළඹින් රත්නපුරේට ශත 50යි. මම රත්නපුරේට ගියා. රත්නපුරේ වැලිමළුව ගමේ කඩේක වැඩට නැවතුණා.





මේ 1927 අවුරුද්ද. හාල් සේරුවක් ශත 09යි. මුතුසම්බා පිත්තල සේරුවෙන් එකක් ශත 12යි. සරමක් ශත 60යි. වළව්කාරයො අඳින චන්ද්‍රපට සරමක් 1.25යි. අටරියන් මඩකලපු කම්බායක් 1.25යි. චීත්ත පස්රියනක් ශත 60යි. බොරුපාකාරයෝ (බොරු කකුල් කාරයෝ) වේල් පෙරහර තියෙන කාලෙට කොළඹ වීදිවල නටනවා අඩි 7 – 8ක් දිග රිටි දෙකක් කකුල්වල බැඳගෙන ගෑනු ඇඳුම් ඇඳ නටනවා. මිනිස්සු ශත 5, 10 දෙනවා. ගම්වලටත් එනවා. මෙහෙම නටලා කඩේක වහළ උඩ වාඩිවෙනවා. ඒ කාලෙ ගෙවල් වලත් වහළ වසා තිබුණේ පිදුරු, බටකොළ, ඉලුක් කොළ වලින්.

පොල්අතු හෙවිලි කරන්න පුරුදු වුණේ පසු කාලෙක. ඉතින් වහළ උඩ වාඩි වුණ බොරුපා කාරයා කරේ තිබුණු මල්ලෙන් ටින් එකක් අතට අරගෙන ඒකෙන් සිගරැට් එකක් දල්වාගන මහ උජාරුවට බොනවා. මේක බලා සිටින මිනිස්සු අනේ අපටත් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට අර ටින් එකේ තියෙන සිගරට් මිනිස්සු ඉන්න තැනට වීසි කරනවා. මිනිස්සු පොර කකා ඇහිඳ ගෙන බොනවා. ඔන්න ඔහොමයි සිගරට් බොන්න පුරුදු කළේ. අලියා සිගරට් එකක් ශත 02යි. හම්බා - ජා- මිනිස්සු, කොළඹ ටවුමෙ මිනිස්සු තමයි වැඩිය සිගරට් බීවේ. බීඩි පුරුදු කළෙත් එහෙමයි.

ඔය අතරෙ ගොන්නු දෙන්නා බැඳපු බර කරත්ත ගමට ආවා. කරත්තෙ ඇතුළෙ රබන් ගහනවා. “වැඩි සැපයට තේ – වැඩි වැඩියෙන් බොනු” කියලා සමහරු කරත්තෙන් බැහැලා නටනවා. කරත්තය යට තියෙන ලොකු මුට්ටි, දර ළිප් දල්වලා නොමිලේ තේ දුන්නා. සීනි දාපු තේ නොමිලේ. ඉල්ලන තරමක් කෝප්ප ගණනක් නොමිලේ දෙනවා. ඔන්න ඔහොමයි කෝපි බිබී හිටපු අපට සුද්දා තේ බොන්න ඉගැන්නුවේ. කෝපි පිටරට යැව්වා.

ඊට පස්සෙ මම හිටපු තැනට නොකියාම රත්නපුරයෙන් කොළඹ ආවා. මේ 1935 විතර. කොල්ලුපිටියේ ඉස්ටේෂන් බංගලාව බලාගන්න පුළුවන්ද කියලා ඉස්ටේෂන් මහත්තයා මගෙන් ඇහුවා. මම පුළුවන් කියා එතැන නැවතුණා. මාසෙ පඩිය රුපියල් 15යි. උදේ ගෙවල් මිදුල් අතුගාලා ඉස්ටේෂමට එනවා. එතන කෝච්චියෙන් බහින මිනිසුන්ගෙ බඩු මලු තරප්පු පෙළ නැඟලා අනිත් පැත්තට ගෙනැත් දෙනවා. ඒ අය මට ශත 5ක් 10ක් දෙනවා. සුද්දො රුපියල් 1ක් –2ක් දෙනවා. එතැනින් දවසට රුපියල් 10ක් 15ක් උපයනවා.

ඔය අතරෙ කොළඹ මහ ඉස්පිරිතාලෙන් ටිකට් කපපු ලෙඩ්ඩු ගමට යන්න සල්ලි නැතුව ඉස්ටේෂමට වෙලා ඉන්නවා. හිරෙන් නිදහස් කරපු අයත් ඉන්නවා. මේ අතරෙ මාතර බෙලිඅත්ත ප්‍රදේශවල අය වැඩියි. ඇඳුම් කිළුටුවෙලා. මම කලිනුත් කීවානෙ මට සල්ලිවල වටිනාකම දැනුනෙ නෑ කියලා. මම ඒ අයට සරොන් කමිස අරන්දීලා කෝච්චියට ටිකට් ගන්න සල්ලි දීලා එවනවා.

මේ අතර “මමත් පොඩි කතාවක් කියඤ්ඤං” කියලා ගාල්ල ප්‍රදේශයේ රෝගියෙක් ලස්සන කතාවක් කීවා.

”අපේ ගමේ මිනිහෙක් හිටියා. පිචෝරිස් නමැති මේ මිනිහා බේබද්දා. මිනිහට හිටියා හොඳ කිරි එළදෙනක්. පැටවාත් එක්ක. කීප දවසක් ම තම්බි මේ එළදෙනව ඉල්ලුවා මසට. පිචා එළදෙනව වික්කේ නෑ ගෑනිට බය නිසා. දවසක් තම්බි පිචාට හොඳට බොන්න අරගෙන දුන්නා. වෙනදා රුපියල් විස්සට ඉල්ලපු එළදෙනට රුපියල් තිහක්ම දෙන්නම් කීවා. එදා පිචාගෙ ගෑනි ගමේ ගිහින් හිටියෙ. පිචා තම්බිට එළදෙන වික්කා. තම්බිව දැක්ක ගමන් එළදෙන අඬන්න පටන් ගත්තා. බුරුල්ලෙන් කිරි විදින්න ගත්තා. පැටියත් කෑ ගහන්න පටන් ගත්තා. පිචා පැටියට කෝටු පාර කීපයක් ගැහුවා.

එළදෙන තවත් දඟලන්න පටන් ගත්තා. තම්බිට අනින්න පැන්නා. අන්තිමේ තම්බි පිචාට කියල ම එළදෙනව මස් මඩුවට අරගෙන ගියා. පිචා සතා මරණකම් ඉඳලා එයින්ම මස් රාත්තල් දෙකකුත් ඉල්ලගෙන ගෙදර ආවා. අම්මගෙ මස් ගඳ දැනිල ද කොහෙද පැටියා තව තවත් අඬන්න ගත්තා. පිචාගෙ ගෑනි ඒ වෙනකොටත් ගෙදර ඇවිත් නෑ. පිචා මස් රාත්තල් දෙක කපලා අඩුවැඩිය දාලා ගෙදර ළිපේ තිබ්බා. පැයක් විතර යන කොට ගෑනි ගෙදර ආවා. එළදෙන තම්බිට වික්ක බව මඟදිම ආරංචි වෙලා කේන්තියෙන් ආවෙ. වහු පැටියත් උගේ බාසාවෙන් අඬ අඬා මේ අවනඩුව කිව්වා. පිචා පිළේ බිම වාඩිවෙලා ඉන්නවා. ගෑනි කුස්සියට ගියා. එළදෙනගෙ මස් ටික ඇතිළියෙ. ගෑනි මස් ඇතිළිය අරගෙන ඇවිත් උස්සලා පිචා ළඟ පොළොවේ ගැහුවා. පිචාගෙ පස්ස පැත්තත් පිච්චුණා. පිචාගෙ වෙරි හිඳුණා.

”තෝ කරපු අපරාදෙට එළදෙනට වගේ ම තෝවත් කපනවා” කියලා ගෑනි කැත්ත අගෙන එනකොට පිචා පැනලා දිව්වා.

”ගමේ අයත් දොස් කියනවා “පව්කාරයා” කියලා. පිචාටත් කරපු පාපය ගැන බය හිතුණා. හරකි විකුණපු සල්ලිත් ඉණේ තිබුණා. අල්ලපු ගමේ නඩයක් සිරීපාදෙ යනවා දැක්කා. පිචාත් ඒ නඩේට එකතු වුණා. පිචාට ගෙනියන්න සැහැල්ලු (බඩුමලු) තිබුණෙත් නෑ. අනිත් අයගෙ බර හෑල්ලුවට උදව් කරමින් ගමන් කළා. තුන් සරණෙ කවි කිය කියා රත්නපුරා පාරෙන් දිගට ම ගියා. කොහොම හරි මළුවටත් නැග්ගා. පද්මෙත් වන්දනා කළා. ඉර සේවය බලන්න කියලා උඩ මළුවෙ පිරිස නතර වුණා. තවත් පිරිස් බොහෝමයි. හැමෝ ම පාන්දර අවදිවෙලා ඉර සේවය බලලා ආපහු කරුණා කළා. පිචාට පිරිස මඟ හැරුණා.

මේ අතරෙ තවත් කණ්ඩායමක් පහළට බහිමින් සිටියා. පිචාත් ඒ නඩය සමඟ තුන් සරණේ කියමින් පහළට බැස්සා. දෙය්යනේ! පිචා බැහැලා තියෙන්නේ හැටන් පාරෙන්. ඒ නඩය මස්කෙළිය ප්‍රදේශයේ පිරිසක්. ඔවුන් තොරතුරු ඇහුවා ම තමන් කාත් කවුරුත් නැති කෙනෙක් බව පිචා ඔවුන්ට කීවා. ශරීර සෞඛ්‍යය හොඳට තියෙන නිසාත් ගොවිතැන් වැඩ හුරුයි කියපු නිසාත් ඒ අය පිචාව එක්කරගෙන ගියා. ඒ ගමට ගිය පිචා ගමේ උදවියට උදව් පදව් වෙමින් හිටියා. මේ අතරෙ ඒ ගමේ හිටිය මිනිහ මැරුණු ගැහැනියක් සමඟ ඇයි හොඳයි කියලා ඒ ගෑනිගෙ ගෙදර බින්න බැස්සා.

අවුරුදු කීපයක් ඒ ගමේ ඉන්න කොට නැවතත් සිරීපාදෙ යන්න පිචාට හිතුණා. සිරීපාදෙ වන්දනා කරලා මිනිහට හිතුනා රත්නපුරා පාරෙන් බැහැලා ගමට යන්න. පිචා තමන් ආපු නඩේටත් නොකියා රත්නපුරා පාරෙන් බැස්සා. රත්නපුරේදී උණ සීතලක් හැදිලා ඉස්පිරිතාලෙට ගියා. සනීප වෙන්න මාසයක් විතර ගතවුණා. ඊට පස්සෙ ටිකට් කපාගෙන ගමට ගියා. දැන් පිචා කෙට්ටුවෙලා. රැවුල වැවිලා. හරිම අජූවයි. ගේ අලුත්වැඩියා කරලා ඉස්සරට වඩා ලස්සනයි. මිදුලට ගියා ම බල්ලෙක් බුරන්න පටන් ගත්තා. ඒ එක්කම ගෙයි හිටපු හැඩි දැඩි මිනිහෙක් එළියට ඇවිත්,

”පුතේ! මෙන්න හිඟන්නෙක් ඇවිත්. අම්මට කියන්න මේ මනුස්සයට කන්න දෙයක් දෙන්න කියලා. මම යනවා හරකව ගේන්න” කියලා ඒ මිනිහා ලන්ද පැත්තට ගියා. ගේ ඇතුළෙන් ඉස්තෝප්පුවට ආපු කාන්තාවක් (පිචාගෙ කලින් බිරිය) මේ හිඟන්නා දෙස බලා ගෙයි තිබුණු හැලප දෙකක් ළමයා අත එව්වා. පිචා ගෙදරින් ගියාට පසු බිරිය වෙන මිනිහකු සමඟ දීග කන බවත්, ඔවුන්ට දැන් දරුවකු සිටින බවත් පිචාට වැටහුණා. කොයි දේ වුණත් ඒ වෙලාවෙ තිබුණු බඩගින්න නිසා පිචා එතන තිබුණ ලී කොටයක් උඩ වාඩිවෙලා කල්පනා කරමින් හැලප කෑවා.

ගෙදරින් පිට වී ගිය මිනිහා හොඳට හැදුණු ගොන් නාම්බෙකු දක්කාගෙන ගෙදර ආවා. ගොනා හිටිහැටියේ කුලප්පු වී පිචා ළඟට පැන පිචාට ඇනගෙන ඇනගෙන ගියා. බිම දාගෙන ඇන්නා. බොහොම අමාරුවෙන් කෑ ගහලා හරකව ඉවතට ගත්තේ. අර එදා හිටිය වහු පැටියා තමයි මේ උස් මහත්වෙලා ඉන්නේ.

පිචාට හොඳට ම අමාරුයි කෑගැහිල්ල ඇහිලා අහල පහළ අය ඇවිත් පිචා මැස්සක තියාගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්නයි සූදානම. ඒ ගෙදර ගැහැනිය ඉක්මනින් වෙනිවැල්ගැට ටිකක් තම්බාගෙන ඇවිත් පොවන්න හැදුවා.

”එපා.. එපා.. මට බොන්න බෑ. මට අමාරුයි. මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න එපා. තව හුඟක් වෙලා මම ජීවත් වෙන්නෙ නෑ. මං හිඟන්නෙක් නොවෙයි. ආහ්.... ආ.... මං.. මා.. පිචා..” කියලා පණ ගියා”යි ඔහු ඒ කතාව අවසන් කළා.

නැවතත් ජේමිස් අප්පු උපාසක උන්නැහේ කතාව පටන් ගත්තා.

”ඕක තමයි මහත්තයා කරුමය කියන්නේ. ඒ ආත්මෙම පල දුන්නා. දිට්ඨධම්ම වේදනීය කර්මය. මම අකුරු සෑත්තරේ ඉගෙන නොගත්තට අනුන්ගෙන් අහගෙන අකුරු හඳුනාගත්තා. මට මුළු පිරිත් පොත ම කටපාඩමෙන් කියන්න පුළුවන්. ගමේ ගිහි පිරිත් කණ්ඩායමේ ප්‍රධානියාත් මම. ඒ වුණාට දැන් ලොකු ලොකු විභාග පාස් කරපු මුණුපුරන්ටත් පිරිත් පොත බලාගෙනවත් කියවන්න බැහැ. මට දැන් වයස අනූහයයි. මගේ පුතා මට හොඳට සලකනවා. ලේලිත් ඒ වගේ ම සාත්තු සප්පායම් කරනවා. මේ ඉස්පිරිතාලෙ කිට්ටුව ලේලිගෙ නෑයො ඉන්නවා. ඒ අයත් නිතර ඇවිත් “තාත්තෙ” කියල මට සලකන හැටි මහත්තයට පේනවනෙ. මේකයි හේතුව තල වැපුරුවොත් තල අස්වනු ලැබේවි. අමු වැපුරුවොත් අමු අස්වනු ලැබේවි”
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

Friday, January 27, 2012

සුසිලෝ! අපි පණ බේරාගෙන මෙතැනින් යන්න යමු

0 comments
අද පලවන්නේ මහින්ද විජේතිලකයන් විසින් 2010 මාර්තු මස 07 වන දින සිළුමිණ පුවත්පතට ලියනලද ලිපියකි.
 
පුද්ගලයකු මිනිසකු ලෙස ජීවත්ව සිටියදී මමය මාගේ යැයි සිතා සිටි පුද්ගල අනන්‍යතාව මේ ජීවිතයෙන් කෙළවර නොවේ. ඔහු හෝ ඇය ජීවත්ව සිටියදී සිදු කරනු ලැබූ සියලු කායික, වාචිික හා චෛතසික ක්‍රියාකාරකම් මේ පුද්ගල අනන්‍යතාවය හෙවත් සම්මුති ආත්මය සමඟ සම්බන්ධකම් පවත්වමින් අවස්ථාව ලද සැණින් විපාක දීමට සූදානම්ව පවතී. එසේ ම අනුන් විසින් තමන්ට කරන ලද හොඳ නොහොඳ දෙක පිළිබඳ මතක සටහන් ද පවතී.

මේ පුද්ගල අනන්‍යතාවය මෙම ජීවිතයෙන් අවසන් නොවන බවත් මරණින් මතුවට ද විවිධ ආකාරවල ජීවිත ගත කිරීමට ඇති බවත් පිළිගන්නා කෙනෙකුට තමන් විසින් පූර්ව ජාතීන් හි කරන ලද කර්මයන් ගේ විපාකයන් භුක්කි විඳීමට බොහෝ විට අවස්ථාව එළැඹේ. අප ජීවත්වන මේ වර්තමාන ජීවිතයෙන් පුද්ගල අනන්‍යතාව අවසන් වෙතැයි උගන්වන කිසි ම ආගම දහමක් ලෝතයේ නැත. මරණින් මතු එක සදාකාලික ජීවිතයක් ඇතැයි උගන්වන ආගම් ද කෙළවරක් නැතිව, සීමාවක් නැතිව දිගින් දිගට උපදිමින් මැරෙමින් යන බව උගන්වන බුදු දහම හා හින්දු ආගම, ජෛන ආගම වැනි ආගම් ද ඇත.

බුදු දහමේ හැටියට පුද්ගලයාගේ සිත තුළ තමා සතුටු කිරීමේ ඕනෑකම පවතිනා තුරු ම නැවත නැවත ඉපැදීම සිදු වෙයි. මේ ගමන නතර කළ හැක්කේ තමන් සතුටු කැර ගැනීමේ ආශාව, උවමනාව, යථාර්ථවාදීව නිසරු දෙයක් බව වටහා ගෙන අත්හළ දවසට ය. බුදු දහමට අනුවත්, හින්දු ආගම් හා ජෛන ආගමට අනුවත් පුද්ගලයා මේ ජීවිතයෙන් පසුව ලබන ජීවිත අනන්ත ය. මේ පුද්ගලයා විසින් පෙර ජීවිතවල හා මේ ජීවිතයේ පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු කරනු ලැබූ ක්‍රියාවන්හි විපාක භුක්ති විඳීමට සිදුවන අවස්ථා අපමණ ය.

මේ මහා විශ්වයේ ඉතා කුඩා ඒකකයක් වූ මිනිසා විසින් කරනු ලබන, කියනු ලබන දේ පමණක් නොව සිතනු ලබන දේ පවා මේ විශ්වයට රහසක් නොවේ. ධනයෙන් හෝ බලයෙන් ඒ කිසිවක් අහෝසි කළ නොහැක්කේ කවුරු නැතත් යටත් පිරිසෙයින් තමන් ගේ සිත සිදුවූ දේ දන්නා නිසා ය. ඒ නිසා තමන් ගේ මරණ මංචකයේදී මතුවන චුති චිත්තය ඊළඟ ප්‍රතිසන්ධිය සිදු කරන විට පුද්ගලයා සුගතිගාමී හෝ අගතිගාමීවීමේ කර්ම බලවේගය තමන් පසු පස එන සෙවණැල්ල සේ, ගොනා පසු පස එන කරත්තය සේ අත් නොහැර ම පවතින බව සිතා ගත යුතු ය. මේ එවැනි සිද්ධියකි.

පියසේන මුදලාලිගේ කුරුඳු ඉඩම ඔහුට හොඳ ආදායමක් ලබා දුන්නේ ය. එක්තරා කාලයක දී ඔහුට ඒ ඉඩමට යන්නට සිත් නොදුන්නේ ය. ඉඳ හිට හෝ එහි ගිය ද ඔහු ඒ ඉඩමෙන් පිට වූයේ උණක් හෝ අඩු තරමින් හිසරදයවත් වැළඳීමෙනි. ඔහුට මේ ඉඩම විකුණා දමන්නට වුවමනා විය. උත්සාහ කළ ද ඉඩම විකුණා ගන්නට නොහැකි විය. ඒ ඉඩමේ කටයුතු බලා කියාගත් අය ද කුරුඳු තලන්නට පිටින් එන අය ද නතර වී සිටි කාමර කීපයකින් යුත් තරමක් විශාල ගෙයක් ද මේ ඉඩමේ තිබිණ. අන්තිමේ පියසේන මුදලාලි මේ නිවසත් ඉඩමත් ආරණ්‍යවාසී නාහිමි නමකට දුන්නේ ය.

නායක හාමුදුරුවෝ තමන් ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් තවත් අතවැසි ස්වාමීන් වහන්සේ කීප නමක් හා තරුණ ආවතේවකරුවකු ද එහි යැවූහ. මාස දෙකක් පමණ ගත වන විට එහි භාරකාරත්වය ගෙන ආ හාමුදුරුවෝ අසනීප වන්නට වූ අතර උන්වහන්සේ ආපසු කලින් සිටි ආරණ්‍යයට ම වැඩ ම කළහ.

ඒ වෙනුවට වෙනත් ශිෂ්‍ය නමක් එවූහ. උන් වහන්සේ ද මාස දෙකකට වඩා එහි වැඩ සිටියේ නැත. අවුරුද්දක් ගත වනවිට මෙසේ හාමුදුරුවරු හතර පස් නමක් ම භාරකාරත්වය අතහැර ආපසු වැඩම කළහ. මෙසේ කිසි කෙනකු එහි නොරඳනා තත්ත්වය ගැන කල්පනා කළ නායක හාමුදුරුවෝ කලින් හාමුදුරුවරුන්ට වඩා අත්දැකීම් ඇති ඔරොත්තුදීමේ ශක්තිය ඇති නාගිත හාමුදුරුවන් එහි යැවූහ.

නාගිත හාමුදුරුවෝ මේ ආරාමයට වැඩම කළේ කෙසේ හෝ මේ උවදුරු ජයගන්නා අධිෂ්ඨානයෙනි. රාත්‍රි බුද්ධ වන්දනාවේ දී පිරිසක් සමඟ ආරක්ෂා පිරිත් සූත්‍ර සජ්ක්‍ධායනය කළහ. පළමු දින රාත්‍රියේ ම වළල්ලක් දැමූ අතකින් නාගිත හාමුදුරුවන් ඇඳෙන් බිමට ඇද දැමුවා ය. උන් වහන්සේ යළිත් කාමරයේ බුදු පහනක් දල්වා සැතපුණාහ.

 දෙවැනි දිනයේ වසා තිබූ ජනේලයේ පියන ඇර ඒ තුළින් දැමූ අතකින් නාගිත හාමුදුරුවන් ගේ කකුළෙන් ඇද්දේ ය. සතියක් පමණ මේ විවිධාකාර හිරිහැර ඉවසා බැරිම තැන තමන් දන්නා හඳුනන ඇදුරෙකු ගෙන්වා මේ විස්තරය පැවසූහ. ඔහු ගෝණාපීනුවල චන්ද්‍රදාස ෆොන්සේකා (ගුරු) මහතා ය.

එදින රාත්‍රි සුපුරුදු වතාවත්වලින් පසු කවුරුත් නින්දට ගියහ. ෆොන්සේකා නිදා ගත්තේ ආරාමයේ ආවතේව කරන තරුණයා (සුනන්ද) නිදන කාමරයේ ම ය. නාගිත හාමුදුරුවන්ට නින්දක් නැත. අදත් කළුවරේ තමන් වහන්සේ ගේ කකුළෙන් කොයි මොහොතේ අදී දැයි විමසිල්ලෙන් නින්දත් නොනින්දත් අතර සිටියහ.

හිටි හැටියේ ම සුනන්ද යටි ගිරියෙන් කෑ ගැසුවේ ය. ආරාමයේ සිටි සියලු දෙනා ම සුනන්දත් ගුරුන් සිටි කාමරයට දුව ගියහ. සුනන්ද නිදි පැදුරේ ම අසිහියෙන් හඬන්නට විය. ඛ්ාමුදුරුවරු පිරිත් කියන්නට සූදානම් වූහ. සුනන්ද බොහෝම රෞද්‍ර විලාසයකින් නැගිට පැදුරේ හිඳගෙන වෙව්ලන්නට විය. යළිත් හඬන්නට විය.

“කවුද මේ? කවුද මේ? හඬන්නේ?” ගුරු ඇසී ය.

“අඬන්නෙ නැතුව පුළුවන් ද? දෙයියනේ මගේ ස්ථානෙට හාමුදුරුවරු ඇවිත් මං අකැමැති දේ කරන කරන කොට කබල්ලෑයගෙ ලෙනේ ඉත්තෑවො රිංගා ගන්නා වගේ මට මහා හිරිහැරයක්.” සුනන්ද භූතාවේෂයෙන් කියයි.

“ඉතින් ඔය උත්තර දුන්නේ අහපු දේට නොවෙයිනෙ? මේ ළමයගෙ ඇඟට රිංගගෙන ඉන්නේ කවුද කියලයි ඇහුවෙ?”

“මම මෙයාගෙ ඇඟට රිංග ගෙන හිටියෙ නෑ. මෙච්චර දවසක් මම නිදහසේ හිටියා. කලින් ආපු අයව පන්නා ගත්තා. මේ හාමුදුරුවන්ව නම් පන්න ගන්න අමාරු වගෙයි. ඒක නිසයි මේ ළමයගෙ ඇඟට ඇවිත් කතා කරන්න හිතුවෙ.”

“හොඳයි, හොඳයි. ඒ ඔක්කොම හරි ඒත් තවම මේ කවුද කියලා කීවෙ නැහැනෙ.” ගුරු යළිත් අවධාරණය කළේ ය.

“මම... ද? මම... ද? මාව මෙතනින් පන්නන්නෙ නෑ නේද? මේ හාමුදුරුවරුන් මෙතනින් යවලා මට නිදහසේ මේ ස්ථානෙ ඉන්න දෙනවැයි කියලා පොරොන්දු වෙනවා නම් මගේ නම කියනවා.

“එහෙම නීති රීතිවලට යටත් වෙන්න බැහැ. හැබැයි වෙන පොරොන්දුවක් නම් වෙන්න පුළුවන්. තමුන් ඔය ඉන්න දුක්ඛිත ආත්මෙන් අනුන්ට හිරිහැර කරමින්, අතින් කකුළෙන් අදිමින් අඬ අ¼ඞා දුක් විඳින ආත්මෙන් මුදවලා, පින් අනුමෝදන් කරලා ඔය ආත්මය උසස් කරලා දෙවියන් අතරට ගිහින් දිව්‍ය සැප විඳින්න, පිනට දහමට සම්බන්ධ වෙලා බුදු ගුණ බලයෙන් සුවපත් කරන්න නම් පුළුවන්.” යළිත් ගුරු කීවේය.

“ඈ... අනේ, ඇත්තම ද? ඔය සහතිකම ද? එහෙනම් ඕනෑ දෙයක් කියන්න බැරියැ. මහත්තයෝ මං සුසිලා. මමයි මගේ මනුස්සයා ගුණපාලයි දෙන්නා මේ ඉඩමේ වැඩට ආවා. මුදලාලි මගේ දිහා බලලා මේ ගෙදර නවතින්නත් දුන්නා. මට ඒ වෙලාවෙමත් තේරුණා. මුදලාලිගෙ අදහස අපටත් ඉන්න හිටින්න තැනක් නැති නිසා අපි නතර වෙලා මේ ඉඩමෙ වැඩ කළා. ගුණපාල කුරුඳු තැලුවා. මුදලාලි අපට හොඳට සැලකුවා.

ඉතින් මහත්තයෝ දිනපතාම උදේ හවස කුරුඳු තළන අය ගෙ ළඟ, ඒ අය අඳින ඇඳුම් වල පුදුම ගඳක් දැනෙනවා. මට ඒ ගඳ උහුලන්න හරිම අමාරුයි. සමහරුන්ට නම් ඒවා පුරුදුයි. ගුණපාල කොයි තරම් හොඳට නෑවත් ඒ ගඳ එනවා. මේ අතරෙ මුදලාලි සැන් පවුඩර් ගහල එනවා. ජැන්ඩියට ඇඳලා.. සමහරදාට මුදලාලි ඉඩමට ඇවිත් එයා ආපු බයිසිකලය ගුණපාලට දීලා

“ගුණපාල අර කඩේ තියෙන පෝර මිටි ටික අරන් වරෙන්” කියලා පිටත් කරනවා. කඩේට මේ ඉඩමෙ ඉඳලා හැතැප්මක් විතර දුරයි. මේ අතරෙ මුදලාලිගෙ විහිළු තහළු දුර දිග ගිහින් සම්බන්ධයක් ඇති වුණා.




“මාස දෙක තුනක් යන කොට ගුණපාලටත් ඉව වැටුණා. මාත් එක්ක රණ්ඩු කළා. මම මේ ගැන මුදලාලිට කිව්වා. දවසක් මුදලාලි ඉඩමට එනකොට ගුණපාල මාත් එක්ක රණ්ඩු කරමින් හිටියා. ගුණපාල මට ගහනවා දැකලා මුදලාලි පොල්ලක් අරගෙන ගුණපාලට ගැහුවා. ගුණපාල දුවනකම්ම ගැහැව්වා. “එහෙනම් මගේ ගෑනිව උඹ ම තියා ගනින්” කියලා ගුණපාල ඉඩමෙන් පිටවෙලා ගියා ගියා මයි ආයෙත් ආවේ නෑ. අනේ ඒ අහිංසකයා දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ” යි යළිත් අඬන්නට විය.

දැන් ආරාමයේ සිටින සියලු ම දෙනා සුනන්ද වටා එක් වී මේ පුදුම කතාව අසා ගෙන සිටිති. ගුරු යළිත් ප්‍රශ්න කරන්නට විය.

“සුසිලා! දැන් ඔය හැම දෙයක් ම සිද්ධ වෙලා ඉවරයි. අඬලා වැළපිලා වැඩක් නැහැ. ඉතුරු ටිකත් කියන්න. අපි ඔයාට උදව් කරනවා.”

“ඔව්, ඉතින් මහත්තයෝ; ගුණපාල ගියාට පස්සෙ මුදලාලි දවල්ට නිතර නිතර එන්න පටන් ගත්තා. මට ඕනෑ කරන හැම දෙයක් ම ලබාදුන්නා. ඒත් මම කිව්වා මට මෙතන තනියම ඉන්න බැහැ කියලා. මේ අතරෙ මට දරුවෙක් ලැබෙන්නත් හිටියා. මුදලාලි මගේ තනියට නාගේෂ් කියලා දෙමළ මිනිහෙක් එව්වා. මේ දෙමළ මිනිහත් ටික දවසකින් මා එක්ක යාළුවෙන්න ආවා. මං අකැමැති වුණා. මූ දවසක් බීගෙන ආවා මං ළඟට. මම කීවා මං මුදලාලිට කියනවා කියලා.

මූ හිනා වුණා. හිනාවෙලා කිව්වා මුදලාලි මට උඹව කසාද බන්දලා දෙනවා කියලා කිව්වා කියා. මම මන්නය අතට අරගෙන කිව්වා “බොරු කියන්න එපා යකෝ! උඹ තව එක අඩියක් ඉස්සරහට ආවොත් කපලා මරනවා” කියලා. මූ බය වුණා. මේ අතරෙ මුදලාලිගෙයි මගෙයි සම්බන්ධය මුදලාලිගෙ නෝනටත් ආරංචි වෙලා ගෙදර රණ්ඩු වෙන්න පටන් අරන්. මුදලාලි මගේ කුසේ ඉන්න දරුවව විනාශ කරන්න මට කතා කළා. මම ඒකට විරුද්ධ වුණා.

මේ අතරෙ නාගේෂ් කන්නලව් කරන්න හිටියා. “අනේ; සුසිලා මං ඔයාට ආදරෙයි. අපි බඳිමු. මුදලාලි උදව් කරනවා කියලා කිව්වා” කියලා. මම නාගේෂ්ට ගහන්න හදලා කාමරේට ගිහින් දොර වසා ගත්තා. ඊට පහුව දා නාගේෂ් ආයෙත් මට කිව්වා “සුසිලා උඹට ලොකු කරදරයක් වෙනවා. මං උඹට ආදරෙයි. අපි මුදලාලිට හොරෙන් මෙහෙන් යමු” කියලා. මම එදා හොඳට ම කේන්ති ගිහින්” දෙමළෝ මං තෝව කපලා පොලිසි යනවා” කියලා කීවා. නාගේෂ් බය වුණා.

ඊට පහුවදා හැන්දෑවෙ නාගේෂ් හොඳට ම බීලා ආවා. මා දිහා බලාගෙන ඉඳලා ඇඬුවා. “සුසිලා මං උඹට ආදරේ හින්දයි මේ කියන්නේ. උඹයි මමයි පණ බේරා ගෙන මෙතනින් පැනලා යමං. නැත්නම් උඹත් අමාරුවෙ මමත් අමාරුවෙ. මං උඹව බාර ගන්න කැමැතියි. මට උඹ ගැන දුකයි. මේ අන්තිම වතාවට කියන්නේ. මුදලාලි උඹව මරන්න කියලා මට රුපියල් 25000 ක් දෙන්න පොරොන්දු වුණා. බලපං ඇඩ්වාන්ස් එකට රුපියල් 10000 ක් දුන්නා.

අපි මේකත් අරගෙන හෙට එළිවෙන්න කලින් මෙහෙන් පැනලා යමං. මට උවමනා නම් මේ 10000 අරගෙන කොහේ හරි යන්න පුළුවන්. ඒත් මං උඹට ආදරෙයි කියලා එක පාරට මාව බදා ගත්තා. අපි දෙන්නම බිම පෙරළුණා. නාගේෂ් මට බලහත්කාරකම් කරන්න හදන කොට මං කිව්වා “හිටපං මං පොලිසි යනවා” කියලා උගේ නහය විකුවා. අන්තිමේ ඌ මගේ බෙල්ල හිර කළා. මට එච්චරයි මතක.

“ඉතින් මං දැන් බලාගෙන ඉන්නෙ මුදලාලි මේ ගෙදරට එනකං. මුදලාලිවත් මගේ ලෝකෙට අරගෙන යන්න. හැබැයි මට බලය තියෙන්නෙ රෑට විතරයි. මුදලාලි රෑට ඉඩමට එන්නේ නෑ. ඒක නිසා මුදලාලිව මරාගන්න කං මම මෙතන ඉන්න ඕනෑ” යි යළිත් අඬන්නට විය.

“සුසිලා; දැන් තමුන් මහා දුගතියක ඉපදිලා දුක් විඳිනවා මදිවට වෛර ගින්නෙනුත් දැවෙනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. අපි දානයක් දීලා ඔයාට පිං දෙන්නම්. ඒ පිං අරගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් තේවාවට දායක වෙලා මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්න අධිෂ්ඨාන කරන්නැ” යි ගුරු කීවේ ය.

මේ විස්තර අනුව නාගේෂ් සුසිලා ගේ ගෙල මිරිකා මරා දමා ඒ රාත්‍රියේ ම පලාගොස් තිබුණි. නාගේෂ්ගේ ගමක් රටක් නොදැන හිටි බැවින් ඔහු අල්ලා ගත නොහැකි වී ඇත. සුසිලා ගැබිණියකව සිටි බැවින් පියසේන මුදලාලිව ද සැක කළ නමුත් ඔහු ලක්ෂ ගණනක් වියදම් කොට නීතියෙන් බේරී සිටියේ ය.

පසු දා රාත්‍රි මුදලාලිව ද ආරාමයට ගෙන්වා ගත්හ. නැවතත් සුනන්ද ප්‍රලය කරවා සුසිලා ගෙන් මුදලාලි සමාවගෙන ඇය වෙනුවෙන් විශාල දානයක් දෙන්නට පොරොන්දු විය. හාමුදුරුවරුන් ලවා භූත දෝෂ ඉවත් කරවා කපටි කමෙන් නැවත ඉඩම ආපසු ගන්නට බලා සිටින බව ද සුසිලා ගේ ආත්මය අනාවරණය කළා ය. බියපත් වූ මුදලාලි පසුදින ම නොතාරිස් කෙනෙකු ළඟ ඔප්පු ලියා ඉඩම නායක හාමුදුරුවන්ට නීතියෙන් ම අයිති කැර දුන්නේ ය. සතියක් ඇතුළත ඒ ආරාමය අලුත්වැඩියා කොට විශාල සාංඝික දානයක් දී සුසිලාට පිං අනුමෝදන් කරන්නට යෙදුණි.
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

Thursday, January 26, 2012

ඊයෙ රෑ ගෙදරදිත් යන්න බෑ කියා ඇඬුවනේ

0 comments




අද පලවන කතාංගය සිළුමිණ පුවත්පතේ පලවුයේ 2010 පෙබරවාරි මස 28 වැනිදායි. මෙම ලිපියේත් කතුවරයා වන්නේ මතුගම මහින්ද විජේතිලක මහතායි. 
මිනිසා සංසාරයේ ජීවත් වූ විවිධ ආත්ම භවයන්හි සිදු කළ කුසල කර්මයන්ගේ කුසල විපාක හේතුවෙන් නැවත මේ මිනිස් භවයේ ඉපිද සැප විඳිති. එසේ ම එම භවයන්හි දී සිදු කරන ලද බලවත් අකුසල කර්මයන්හි විපාක කර්මානුරූපව මතුවීම නිසා, සැප විඳීම යටපත් කොට විවිධ වූ ලෙඩ දුක් හා විවිධ වූ කරදර කම්කටොලු වලට ද භාජනය වී අනේක විධ දුක් විඳිති. එසේ සිදුවන්නේ විෂම ලෝභයත්, අනුන්ගේ සැප සම්පත් දැක උහුලාගනු බැරි ඊර්ෂ්‍යාවෙන් මතු වන ද්වේෂයත් නිසා, මෙතෙක් පූර්ව කුසල ශක්තීන් හේතු කොට සැප විඳිමින් සිටි සිත කිළුටු කැර ගැනීමෙන් ඒ පූර්ව කුසල විපාක ශක්තිය යටපත් වී පූර්ව අකුසල විපාක ශක්තීන් මතුවීම නිසා ය. මේ කාමාවචර වූ ලෝකයේ මිනිස් සිත පිනට දහමට යොමු කිරීම ගලන ගඟක ඉහළට පිහිනීම වැනි බාධා සහිත මහත් අපහසුතා මධ්‍යයේ බොහෝ වීර්යයෙන් කළ යුතු දෙයකි.


ථීනමිද්ධය නම් වූ තීවරණ ධර්මතාවය නිසා පිනට දහමට යොමු වීම “අද බෑ හෙට කරනවා - අද වහින්න වගෙයි හෙට කරනවා - අපි තවමත් තරුණයි අද සැප විඳල වයසට ගියාම විශ්‍රාම ගියා ම දනට පිනට යොමු වෙනවා” යැයි කල් දමති. මාරයා සිනා සෙමින් මේ මී හරකා මඩට ම හැලට ම තල්ලු කරයි. මෝහය නමැති මුළාව, මෝඩකම හෙවත් නොදැනීම නමැති මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වීම නිසා විෂම ලෝභය හා ද්වේෂය මූලික වූ අකුසල් සිත් පහළ කැර ගැනීමෙන් මේ සුගතියක් වූ මිනිස් ජීවිතය අඳුරටම, දුකට ම පත් කැර ගනිති.


අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට ගොස් තරහව ද්වේෂය බලවත් වී අනුන්ට පාඩු කරන්නට, අපහාස කරන්නට පළි ගන්නට සිත - කය දෙක ම යොමු කිරීමෙන්, භාවිත කිරීමෙන්, නිරන්තර ගින්නකින් සිත දැවි දැවී දුක් විඳියි. එසේ සිත කිළුටුවීම නිසා කායිකව හෘදය වස්තුවේ පවතින අඩ පතක් පමණ වූ රුධිරය හෙවත් ලේ ධාතුව දුර්වර්ණ කැර ගැනීමෙන් ශාරීරික රෝගා බාධයන් වැළඳී දුක් විඳියි. ලෝභය හා ද්වේෂය යන අකුසල හේතු දෙක පිළිබඳව ධර්ම දේශකයන්ගෙත් හා ගුරු වරුන්ගෙත් ඇසීමෙන් ද, ධර්ම ග්‍රන්ථ හා ලිපි කියැවීමෙන් ද මෝහය යටපත් කැර සිත ඒ යහපත් ධර්මයන්ට යොමු කොට “කල්පනා කරන” නුවණ ඇත්තා හොඳ නරක හඳුනා ගනී.


ඔහු තමන්ට හැකි ප්‍රමාණයෙන් දන් දෙමින් තණ්හාව අඩු කැර ගනී. ද්වේෂය තමන්ගේ දැවීමට ම හේතු වන බව දැන අනුන් ගැන සිතීම අතහැර තමන්ගේ සුබසිද්ධිය ගැන සිතමින් කටයුතු කරයි. මේ ලෝභ - ද්වේෂ - මෝහ යන කෙලෙස් මුල් වලින් නැගෙන සිත දවන සිතුවිලි යටපත් කරන උපාය මාර්ගය වශයෙන් සිතට බාහිර අරමුණු මතු වන්නට ඉඩ නොදෙන, සිත එක අරමුණක රඳවා ගෙන මෙතෙක් සිතට පුරුදුව, ඇබ්බැහි වී තිබුණු අකුසල සිතුවිලි උත්සාහයෙන්, වීර්යයෙන් යටපත් කොට සිත සමාධි සුවයට පත් කරන භාවනාවෙන් ශාන්ත වූ පරම සුවයක් විඳියි.


තමන්ට විවේකයක්, ඉඩකඩක් ලැබුණු හැම විටක ම තමන් මෙන් ම අනුන් ද සැපයට කැමති බව සිතා අනුන් ගේ සැපතට බාධා නොකරයි. හිංසා නොකරයි. අනුන් සතු දේ නොගනියි. තමන් ගේ සැපත වාසිය සඳහා වැරදි අසාධාරණ වැඩ නොකරයි. බොරුවෙන්, කැත වචනයෙන් නපුරු වචනයෙන් හා ප්‍රයෝජනයක් නැති හිස් වචනයෙන් වළකී. විවිධ ක්‍රම මඟින් මත් වී සිහි මුලා කැර නොගනී. වෛරයෙන් වෛරය කිසි දිනක ජය නොගන්නා බව වටහා ගෙන ඉවසීමෙන්, මෛත්‍රීයෙන් කල් ගෙවයි. ඊර්ෂ්‍යාව හා තරහව නිසා අනුන්ට වෛර කරන්නට ගොස් දුක් විඳින දෙදෙනෙකු පිළිබඳ කතාවකි මේ. කොළඹ පිටකෝට්ටේ, අලකේශ්වර පාරේ, විශ්ව ප්‍රාණි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී තිසර නාගොඩවිතාන මහතා ඉදිරිපිට අනාවරණය වූ ඉතා ම කනගාටුදායක, පාපයේ විපාක ඇස්පනාපිට පැහැදිලි කළ, කාටත් ආදර්ශමත් සිද්ධියකි.


සාන්ත රජයේ රැකියාවක නියුතු තරුණයෙකි. ඉවසිලිවන්තයෙකි. පිළිවෙළකට කටයුතු කරන්නෙකි. සාන්ත ගේ අක්කා රෝහිණී කුඩා කල සිට ම ආත්මාර්ථකාමීය. ඇය ම හඳුනාගත් තරුණයකු සමඟ වැඩිහිටි ආශීර්වාදය මැද විවාහ වූවාය. ඇගේ සැමියා මව්පිය දෙදෙනා සමඟ හැදුණු වැඩුණු ගුණ යහපත් කෙනෙකි. රෝහිණී ඒ ගෙදරට ගිය දවසේ පටන් ම තමන්ගේ අධිරාජ්‍යයක් එහි ගොඩ නගා ගන්නට සිතුවා ය. සිය නැන්දා මාමා දෙදෙනාගෙන් ගෙදර දොරේ වැඩ ගැනීමට ම සිතුවා මිසක ඔවුන් කෙරෙහි ගරුසරු දැක්වීමට හෝ ඔවුන්ට සැප සාත්තු කිරීමට පෙළඹුණේ නැත. එසේම සිය සැමියා තමන්ගේ අණසක යටතේ කීකරු ගෝලයෙකු සේ පවත්වා ගෙන යන්නට සිතුවාය. ඒ අනුව ම කටයුතු කළා ය. ටික දවසක් ගත වන විට මේ වැඩිහිටි මව්පිය දෙදෙනා
 

“අනේ! අනේ! අපේ පුතා අරගෙන ඇවිත් තියෙන්නේ ගෑනියෙක් නම් නොවෙයි, ආණ්ඩුකාරියක්” යැයි දෙන්නාට දෙන්නා කතා කැර ගන්නා තත්ත්වයට පත් වූහ. එහෙත් පුතා ගේ පවුල් ජීවිතය අවුල් කරන්නට ඇති අකැමැත්ත නිසා ඉවසා නිහඬ වූහ. ඔවුන් සතු ඉඩමේ ගහ කොළවල පලදාව පවා ලේලියගේ පාලනයට ගැනීම නිසා මේ මව්පිය දෙදෙනා මෙතෙක් ලෙඩට දුකට පිනට දහමට වියදම් කළ දෙය ද අහිමි විය.


“අනේ! ඕයි අපි දෙන්නාට වෙච්ච දෙයක්” යැයි සිතෙන තත්ත්වයට ඔව්හු පත් වූහ. රෝහිණීගේ ස්වාමිපුරුෂයා මේ තත්ත්වයන් දෙස ඉතා සාවධානව ඉවසීමෙන් බලා සිට ඉවසීමේ සීමාව ඉක්මගිය මොහොතක මේ වධක කාරියට පහර දී ගෙදරින් පන්නා දැම්මේ ය. තටු සිඳුණු ගිජු ලිහිණියක සේ, ඇපත් නැතුව පරාජයට පත් වූ ඇමතිවරයෙකු සේ රෝහිණී රෙදිකඩමාලු ටිකත් පොදි බැඳගෙන පුපුර පුපුරා ගෙදර ගියාය.


මේ වන විට රෝහිණීගේ මව්පිය දෙදෙනා මිය පරලොව ගොස් සිටියහ. සාන්ත තමන් රැකියාව කරන ආයතනයේ ම තරුණියක සමඟ විවාහ වී ඇය ගෙදරට කැන්දා ගෙනාවේය. සාන්තගේ බාල අක්කා පි‍්‍රයානිට මව්පිය දෙදෙනා ජීවත්ව සිටි කාලයේ සිට ම විස්සක් විසිපහක් පමණ විවාහ යෝජනා ගෙනැවිත් මනාලයන් කැඳවූවත් පි‍්‍රයානි ඔවුන් ගේ හැඩ, රුව, පැහය, උස මහත රැකියාවේ තත්ත්වය, දේපළ, යාන වාහන පිළිබඳ, දිග පළල බලන්නට යෑම නිසා ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. මඟුල් කපුවෝ ද මේ ගෙදරට පැමිණීම පවා වර්ජනය කොට තිබුණි.


සාන්ත ගේ අලුත් බිරිය සේපාලි පැහැපත් ය. ප්‍රසන්න ය. කඩිසර ය. නිතර සිනහ මුහුණෙන් යුතුව කල් ගෙවූ ඇය පාන්දර 4 ට අවදි වී ගෙදර දොර වැඩ නිමවා උයා පිහා සාන්ත සමඟ රැකියාවට ගියාය. උදේ කැදැල්ලෙන් පිටවන කුරුලු ජෝඩුවක් සේ කීචි බිචියෙන් විහිළුවෙන් සිනාවෙන් රැකියාවට ගියා ය. සවස සැමියා සමඟ ආපසු නිවසට පැමිණ ඇඳුම් මාරු කළ මොහොතේ පටන් ගෙදර දොරේ වැඩ කටයුතුවල නිරත වූවාය. ගෙදර තවත් ගෑනු දෙදෙනෙක් ඉන්නවා ය කියා පංගුපේරු නොබලා කටයුතු කළාය. ඒ අයට අවශ්‍ය ආහාරපාන හා ඇඳුම් සැපයීමට ද සැමියා උනන්දු කළාය.


එහෙත් මේ අක්කා නංගී විසකුඩිච්චි දෙක එකතු වූ විට, තරුණ යුවල රැකියාවට ගොස් ආපසු එන තුරා උන් ගේ පපු කැවුතුවල ගොජ් දැමුණු ඊර්ෂ්‍යාව, හුවමාරු කැර ගත්හ. සේපාලි ගේ ප්‍රසන්නතාව, සිරුරේ හුරුබුහුටියාව, මල්ලී සමඟ ආදරයෙන් බැඳී සිටීම, ලස්සනට ඇඳ පැළඳ ගමන් බිමන් යන හැටි, මේ ඇස් හතරේ කටු අනින්නාක් මෙන් වීය. මේ නම් බෝම්බ දෙකක් බව සාන්ත කල් ඇතුව ම පෙර නිමිති හඳුනා ගෙන සේපාලිට හඟවා තිබුණි. සේපාලි ද ඉවසීමෙන් අවබෝධ කැර ගෙන සිටියාහ.


මේ බෝම්බ දෙකේ සේව නූල් සුරු සුරු ගා දැල් වී ගෙන එන විට ම ඒ බව නොදන්නා සේ ම තම රාජකාරි ආයතනයෙන් ලැබෙන නිල නිවාසයකට පදිංචියට යෑමට සාන්තත්, සේපාලිත් නුවණක්කාර වූහ. එසේ පදිංචිය හැර ගිය ද සතියේ නිවාඩු දිනවල ගෙදර ගොස් අක්කලා දෙදෙනාට අවශ්‍ය විය පැහැදම් සැපයීම නොපිරිහෙලා ඉටු කළහ. ගෙදර වත්තේ පොල් ගස්වලින්, අඩු ගණනේ සාන්තගේ අතින් සිටුවා දැනට පලදාව ඇති ගස්වලින් හෝ පොල් ගෙඩියක් පවා මල්ලීට දෙන්නට තරම් මේ අක්කලා උනන්දු වූයේ නැත. මල්ලී ඉල්ලුවේ ද නැත. ඔවුහු රුපියල් 30 - 40 ට පොල් මිල දී ගත්හ.


කෙසේ වුව ද සාන්ත සේපාලි දෙදෙනා විවාපත් වී වසර දොළහක් ගත වුව ද ඔවුන්ට දරු සම්පතක් ලැබුණේ නැත. විවිධ ප්‍රතිකාර ගත් නමුත් ප්‍රතිඵලයක් නොවීය. සේපාලි වරින් වර උදරයේ වේදනාවකින් ද පෙළුණාය.


රාත්‍රියට හීනෙන් බිය වී අවදි වූවා ය. කෙසේ නමුත් ඇය දන් පින් කළාය. සිල් සමාදන් වූවා ය.


මේ අතර සාන්තගේ ලොකු අක්කා අංශබාධ රෝගය වැළඳී තරමක් සුවය ලැබුව ද සැරයටියෙන් ගමන් කරන තත්ත්වයට පත්ව සිටියාය.


පොඩි අක්කා ළිඳ ළඟ ලිස්සා වැටී කකුල කැඩී සුවපත් වුව ද ගමන් කළේ නොන්ඩි ගසමිනි.


සාන්ත, සේපාලි දෙදෙනා දිනක් මෙයට පිළියම් සොයා නාගොඩවිතාන මහතා හමුවීමට ගියේ මේ කුමක්දැයි දැන පිළිවෙතක් ඇසීමට ය. එහි දී සේපාලි ප්‍රලය වූවා ය.


“කව්ද මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරන්නේ?” යි නාගොඩවිතාන මහතා ඇසීය.


“මම ද? මම... විලියොන් සිංඤෝනෙ”


“කව්ද? මේ විලියොන් සිංඤො?”


“මම මේ සාන්ත පුතා ගේ බාප්පනෙ. මේ ගොල්ලන්ගෙ ඉඩමට අල්ලපු ඉඩමෙ තමයි මං ජීවත් වුණේ.”


“ඉතින් ඇයි මේ ළමයගෙ ශරීරයට රිංගුවේ”


“මං රිංගුවෙ නෑ රෝහිණියි පි‍්‍රයානියි මගේ සොහොනෙ මිනී අළු මතුරවලා අළුවා හදලා මේ ළමයාට කැව්වා. ඉතින් මට මේ ළමයගෙ ලේ උරා බොන්න සිද්ධ වුණා.”


“ඉතින් මොකද සාන්තගෙ ඇඟට රිංගුවෙ නැත්තෙ?”


“රෝහිණී මිනී අළු මිශ්‍ර අළුවා සේපාලිට කන්න දුන්නා. ඒ වේලාවේ ඉඩමේ එහා හිටපු සාන්තට පි‍්‍රයානි හොඳ අළුවා ගිහින් දුන්නා. එහෙමනෙ මේක සිද්ධ කළේ.”


“ඉතින් තමුන් මහ පවක්නෙ මේ කරන්නෙ?”


“ඔව්! මහත්තයො මටත් තේරෙනවා. මං මොනවා කරන්න ද? මාව බන්දලා. ඉතින් මාත් ජීවත්වෙන්න එපායැ. මං මේ ළමයගෙ ලේ ධාතුව උරා බොනවා. මේ ළමයා නිතර පන්සල් යනවා. සිල් ගන්නවා. පින් දහම් කරනවා. නැත්නම් මම මෙයාව මරා ගෙන හුඟක් කල්.”


“මේක මහා පාපයක්.”


“ඉතින් මමයැ ඒ පාපය කෙරුවෙ? මෙයාගෙ ම නෑනලා දෙන්නනෙ. අන්න උන් දැන් පාපයේ කර්ම විපාක ගෙවනවා. එකෙකුට අංශ බාගෙ හැදුණා. අනිත් එකී ළිඳ ළඟ ලිස්සලා වැටිලා කකුල කැඩුණා. දැන් නොන්ඩි ගහනවා. ඒ මදිවට දැන් මුළු දවසේ ම දෙස් දෙවොල් තියා ගන්නවා. සමහරදාට කෙහෙවලු පටලවා ගෙන ගහ ගන්නවා. හොඳ වැඩේ ඕකුන් දෙන්නට. මාවත් මේ ළමයගෙ බඩේ හිර කළාට.”


“විලියොන් සිංඤෝ, දැන් මේ ළමයාට දුක් කරදර කළා ඇති. තවත් පව් පුරවා ගන්නෙ නැතුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහින් පිනකට දහමකට අත ගහලා සම්මාදන් වෙන්න.”


“මම කොහොමද මහත්තයෝ යන්නේ. මම යකෙක් නෙ?”


“හරි... අපි දානයක් දීලා ඔහේට පින් අනුමෝදන් කරල ඔය ඉන්න තත්ත්වෙන් උසස් කරන්නම්. එතකොට අනුරාධපුරේට යන්න පුළුවන්. එහෙම යනවා නේද?”


“ම්... ම්... හොඳයි බලමු”


“බලලා හරි යන්නේ නෑ. යන්නම ඕනැ. ඔය මළ පෙරේත ආත්මෙන් තවත් නරකාදියට ගිහින් දුක් විඳින්න ද කල්පනාව.”


“හ්ම්... හ්ම්... හොඳයි එහෙනම් මොනව කරන්න ද? මං යන්නම් කො” යි විලියොන් සිංඤෝ ගේ පේ‍්‍රතාත්මය සේපාලිගෙ ඇඟෙන් ඉවත් වූයේ ය. එදා ඉතා ම සතුටෙන් සැහැල්ලුවෙන් සාන්තත් සේපාලිත් මධ්‍යස්ථානයෙන් පිටත් ව ගියහ.


ඊට පසු දා මේ දෙදෙනා නැවත ආපසු ආහ.


“හරි වැඩේනෙ මහත්තයා ඊයෙ රෑ ගෙදරදිත් මෙයා ආවේශ වෙලා යන්න බෑ කියල ඇඬුවනෙ” යි සාන්ත කීවේය.


මධ්‍යස්ථානයේ දී සේපාලි නැවත ප්‍රලය වූවා ය.


“මොකද! විලියොන් සිංඤෝ ඊයෙ යනවැයි කියලා පොරොන්දු වෙලා ගිහින් ආයෙත් ආවේ?” යි නාගොඩ විතාන මහතා ඇසීය.


“හීඞ... හීඞ... මට අරුන් දෙන්නගෙන් පළිගන්න හිතුණා. මං මේ ගොල්ලන් ගෙ මහ ගෙදරට ගියා. අර හැතිරියො දෙන්නව රණ්ඩු කෙරෙව්වා. අන්න උන් ඔලු පලා ගෙන ඉස්පිරිතාලෙ. ඒ ලේ ගිය හැටියට උන්දැලා දෙන්නා වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ.”


“ඒ කතාවලින් වැඩක් නෑ. දැන් වහාම මේ ශරීරෙන් පිටවෙලා අනුරාධපුරේට යන්න ඕනෑ.”


“එහෙම මාව යවන්න බෑ. මම බලගතු යක්ෂයෙක්.”


“අනේ බං උඹේ බලගතුකම. උඹ බලගතුකම් මේ අහිංසක කෙල්ලෙකුට හිරිහැර කරනව ද? උඹ අද නොගියොත් අල්ලලා බැඳලා ගැට ගහලා, බෝතලයක දාලා. හිර කරලා - මූදට දානවා. කල්ප ගණනක් දුක් විඳින්න. උඹ දැන් යනව ද? නැද්ද?” නාගොඩ විතාන මහතා වේවැල අතට ගත්තේ ය.


“ඒක හරි වැඩක් නෙ. මම කොහොමද එහෙම ගිහින් ජීවත් වෙන්නෙ? මට පින් දුන්න යැ යන්න?”


“හොඳයි, හොඳයි, හෙට උදේට හීල් දානයක් දීල පින් දෙනවා. එතකොට පිට වෙලා යන්න ඕනැ.”


“එහෙම බෑ. අන්න රත්තනපිටියෙ ‘සසුනෙ’ සිල්වත් හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන් වහන්සෙත් එක්ක හතර නමකට කරවල මස් මාළු උම්බලකඩ නැතුව කැවිලි පළතුරු ඇතුව දානයක් දීලා ඒ හතර දෙනා වහන්සේගෙ වචනයෙන්ම


“මේ පින විලියම් සිංඤෝට අනුමෝදන් වේවා” කියලා නම් කරලා ම පින් අනුමෝදන් කරන්න ඕනෑ. අද සසුනට ගිහින් දිනයක් ඉල්ල ගෙන පිරිසිදුව දානෙ දෙන්න ඕනැ. එතකොට නම් මම යන්නම්. එහෙම කරනවානම් මම සන්තෝසෙන් යන්නම්. අනුරාධපුරේ යන්න ඇත්නම් කොච්චර හොඳදැ”යි විලියම් සිංඤෝ ගේ ආත්මය කීවේය. ඒ අනුව බෞද්ධ පිළිවෙත්වලින් දැන් සේපාලිත් සුවපත් ය. මළ පෙරේතයත් සුවපත් ය.


රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

Wednesday, January 25, 2012

ඉක්මන් කරලා ඔය කෙල්ල අපේ ගෙදරට අරන් යමල්ලා

0 comments
මෙම කතාවත් සිළුමිණ පුවත්පතට රචනා කොට ඇත්තේ මතුගම මහින්ද විජේතිලකයන් විසිනි. මෙම කතාවේ සම්පූර්ණ ගෞරවය එතුමන්ට හා සිළුමිණ පුවත්පතට හිමිවේ. මේ 2010 පෙබරවාරි මස 21 වැනි දින පුවත්පතෙන් උපුටා ගැනුමකි.


තමන්ගේ නුවණට ගෝචර නොවුණු පමණින් යමක් මිථ්‍යාවකැයි, මනඞකල්පිතයකැයි, බොරුවකැයි, ප්‍රතික්ෂේප කිරීම බුද්ධිමත් භාවයේ ලක්ෂණයක් නොවේ. බුද්ධිමතාගේ ද බුද්ධිමත්භාවයේ ද ලක්ෂණය වන්නේ, ලක්ෂණය විය යුත්තේ යමක් ඇසූ දුටු විට එය විමර්ශනයට ලක් කොට බැලීමයි. එසේ නැතුව තමන්ගේ මිනුම් දණ්ඩෙන් මැන උපහාසයට, අපහාසයට, ලක් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම වැදගත් ලක්ෂණයක් නොවේ. මේ විශ්වයේ අප දන්නා දේ ඉතා ම ස්වල්පයකි. කිසිවක් ම හරියාකාර දන්නේ නැතැයි කීව ද එය ඉතාම සාධාරණ ය.

වර්තමාන උගතුන් යැයි කියන ටයි කෝට් අඳින මහත්තැන් බොහෝ දෙනෙකු විසින් නොතකා නොසලකා සුළු කොට සිතනු ලබන, ගමේ පංසලේ හාමුදුරුවෝ, ගුරුන්නාන්සේ (ගුරුවරයා) වෙද රාල, ගම රාල, ගොවි රාල එදා ගමට රටට සම්පත් වූහ. හාමුදුරුවන් හැර අනිකුත් සියලු දෙනා කොණ්ඩය බැඳ සිටිය ද නිතර පාවහන් මිරිවැඩි නොපැළඳුව ද හොඳ නරක මැනවින් හඳුනා සිටියහ. දඹුලු ගොස් තලගොයි දඩයම් කළේ නැත. කබරුන් තලගොයින් කළේ නැත. එදා සුරූපී තරුණියකට මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පයින් යා හැකි පරිසරයක් ගොඩ නැගුවෝ ඒ පැරැන්නෝ ය. අද මෙන් සුනාමියට අසු වූ තරුණියකගේ කණ කර ගලවා ගෙන ඇය මුහුදට විසි කරන්නට තරම් වූවෝ එදා නොවූහ. එදා ගුරුවරයා දෙවියෙකි.

වරදට දඬුවම් කළ ද මව්පියෝ ඔහුට විරුද්ධව උසාවි ගියේ නැත. අද මෙන් එදා ගුරුවරයා ළමයින්ට බිය වූයේ ද නැත. ඔහුට ගොවියා පුතුන්, රාලහාමියා පුතුන් එක හා සමාන විය. එදා ගොවියා අතින් පරිසර හානි සිදු වූයේ නැත. සෑම ලියැද්දක ම සෑම වක්කඩක ම පෙති පැටව්, දන්ඩින්, හඳයන් නිදහසේ පිහිනූහ. සොබා දහමට අනුව කොකාට වාරයක් පැමිණිය ද තිත්තයින්ට ද වාරයක් පැමිණියේ ය.

අද තිත්තයින්ට නම් වාරයක් එන්නේ ම නැත. එදා ගොවියා කුඹුර ඉහත්තෑවේ කුරුලු කොබෙයියන් සඳහා “කුරුලු පාළුව“ නමින් ලියැද්දක අස්වැන්න අත හැර පරිත්‍යාග කොට තිබුණි. අද සෑම කුඹුරක ම වස බෙහෙත් ගහලා ය. ඌරන්ට විදුලි රැහැන් ඇදලා ය. ඒ තරමට ම ලෝකය දියුණු වී ඇත. එසේ ම එදා දරුවෝ ද ශිෂ්‍යත්ව පංති නොගිය ද යම්තම් වයස අවුරුදු හය හත වන විට හය හතර (සදෙව් ලෝ - සතර අපා) දැන සිටියහ.

එදා පැරැණි අය හිරු දෙවි සඳ දෙවි ඇදහූහ. හිරු දෙවියන්ගෙන් (බහු වචනයකි) සඳ දෙවියන්ගෙන් (බහු වචනයකි) පිහිට පැතූහ. ඕසෝන ස්ථරයට හානි නොකළ මිනිසාට හිරු දෙවියෝත් සඳ දෙවියෝත් පිහිට වූහ. එදා මිනිසාගේ දැනුම, පිළිගැනීම, කොයි තරම් විද්‍යාත්මක ද? ජීවී අජීවී සියල්ලේ උපතට, පැවැත්මට, සූර්ය චන්ද්‍ර බලපෑම එදා මිනිසා හඳුනාගෙන සිටියහ. අද බලවතුන්ට ධනවතුන්ට දොහොත් මුදුන් කැරෙන දෑත් හිරු සඳුට අද මුදුන් වන්නේ නැත. ඒ එදා ය. මේ මෙදා ය. බුදුරජාණන් වහන්සේත් සෙවන දුන් බෝ ගසට පවා ගෞරව කළ බව ද සිහිපත් කළ යුතුය.

පසු ගිය දා භෞතිකවාදී ප්‍රවීණයෙක් රූපවාහිනී සාකච්ඡාවක දී සූර්යයාගේ අධික උෂ්ණත්වය නිසා එහි ජීවීන් (සත්ත්වයින්) නැතැයි කීවේය. හෙට අනිද්දා නවීන විද්‍යාඥයන් විසින් සූර්යයා තුළ ද ජීවීන් ඇතැයි සොයා ගත්තොත් මේ ප්‍රවීණ යා කුමක් කියනු ඇද්ද? පොළවේ පස් තට්ටුවට යටින් පාෂාණමය තට්ටුවකි. ඊට සැතපුම් ගණනාවකට යටින් ලෝකයේ භ්‍රමණයට අනුව කැකෑරෙන ලෝ දිය කලාපයක් ඇතැයි අද විද්‍යාඥයෝ සොයා ගෙන ඇත. එය ම මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර බුදුරජාණන් වහන්සේ නුවණින් සොයා දැන දේශනා කළ සේක.

එපමණක් නොව එසේ උතුරා නැගෙන ලෝ දිය සහිත අවීචි මහා නිරයෙහි ද පාප කර්ම විපාකයට අනුව සත්ත්වයන් උපදින බව ද දේශනා කළහ. ඒ තරම් දැඩි උෂ්ණත්වයක සත්ත්වයන් උපදිතැයි ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ නම් සූර්යයාගේ දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආවේණික වූ සත්ත්ව කොටසක් නැතැයි කාට කිව හැකි ද?සූරිය පරිත්තය හා චන්ද පරිත්තය මහ පිරිත් පොත් වහන්සේගෙන් ඉවත් කරන්නට භෞතිකවාදීන්ට පුවළුන් වේවි ද? මා මෙතෙක් වෙහෙස වූයේ අපේ පැරැණි අයගේ දැනුමට ගෞරව උපහාර දක්වන්නට ය.

මේ කතාව ද එවැනි පැරැන්නකු ගේ හාස්කමකි. මේ කතාව ද තව අවුරුදු පහකින් දහයකින් නූතනයේ බොරු යැයි කියන්නට ද බැරි නැත. මා එය මෙසේ කල් ඇතුව සඳහන් කරන්නේ ඕනෑම පර්යේෂකයකුට එය ඇත්තදැයි දැන ගන්නට තවමත් ඉඩකඩ තිබෙන නිසාය.

මේ කතාව මා සමඟ පැවසුවේ බටහිර වෛද්‍ය වරයෙකි. බෙලිඅත්ත, හත්බෝධිය රජයේ රෝහලේ වෛද්‍ය පද්මසිරි දිසානායක මහතා ය. ඒ මහතා ගේ වචනයෙන් ම ලියමි.

“මම දැන් මාතර පදිංචිව සිටියත් මගේ උපන් ගම කුරුණෑගල. මගේ සීයා කුරුණෑගල ‘අඹවල’ වෙද පරපුරට අයත් දක්ෂ වෛද්‍යවරයෙක්. අපි ඒ සීයා හැඳින්වූයේ වෙද ආතා කියලා. සර්ප විෂ වෙදකම පිළිබඳ ඉතා ම සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. හැබැයි වෙදකම් කළාට කිසි දවසක මුදල් අය කළේ නෑ. ඒත් එදා සිටි මිනිස්සු අද කාලෙ මිනිස්සු වගේ නොවෙයි. තමන් සුවපත් කළ වෛද්‍යවරයාට මාසෙකට දෙකකට වරක්වත් තමන් ළඟ තියෙන භවභෝගවලින් ‘දැකුම්’ අරගෙන ඇවිත් පිළිගන්වලා වැඳලා යන සිරිතක් තිබුණා. ඒ වගේ ම ඒ කාලෙ වෛද්‍යවරු ගුරුවරු හොඳට ගොවිතැන් බත් කළ උදවිය නිසා ඒ තරම් අමාරුකම් තිබුණෙත් නෑ. අපේ වෙද ආතාත් ඒ වගේ යමක් කමක් තිබුණු බොහොම ගාම්භීර කෙනෙක්.

ඉතින් මේ කතාව අදින් අවුරුදු හැටකට විතර කලින් සිද්ධ වෙච්ච දෙයක්. දවසක් අපේ වෙද ආතා ගෙදරින් පිටත් වෙලා ගමනක් යමින් ඉඳල තියෙනවා. ඒ කාලෙ වෛද්‍යවරු ගමනක් යන කොට හරක් අං කොපුවක දැමූ බෙහෙත් වර්ග ටිකක් අරගෙන යන සිරිතකුත් තිබුණා. ඉතින් මෙහෙම පාර දිගේ පයින් ම යන කොට අල්ලපු ගමක කෙනෙක් මැරිලා භූමදාන කරන්න අවමංගල පෙරහර කනත්ත දක්වා ගමන් කරමින් තිබුණා.

වෙද ආතා පාරේ හිටපු කෙනෙකුගෙන් අහලා තිබුණා,

“කාගෙද? මේ මරණය” කියා.

“ඔය අසවල් ගමේ ගෑනු ළමයෙක් නයෙක් දෂ්ට කරලා මැරිලා” කියා ඔහු උත්තර දී තිබුණා. වෙද ආතා තමන් ඉදිරියෙන් ගමන් කරමින් සිටි, මිනි පෙට්ටිය ඔසවා ගෙනා අයට බස්තම දිගු කර නතර කරවා “කව්ද මේ මැරිලා තියෙන්නේ” කියා අහලා තියෙනවා.

“මේ අවුරුදු දහසයක ගෑනු දරුවෙක්” යැයි ඉන් කෙනෙක් උත්තර දී තිබුණා.

“මොනවා වෙලා ද මැරුණේ?” වෙද ආතා අහල තියෙනවා.

“නයෙක් දෂ්ට කරලා”

“කවදා ද?”

“ඊයේ”

“ආ... එහෙම නම් ඔය පෙට්ටිය බිමින් තියාපල්ලා” කියා තියෙනවා.

ඒ උදවියත් මිනී පෙට්ටිය බිමින් තියලා. වෙද සීයා මිනී පෙට්ටියේ පියන අරවලා මිනිය පරීක්ෂා කර තියෙනවා. ඒ කාලෙ අද වගේ එම්බාම් කරන්නෙත් නැහැ. දවස් ගණන් මිනිය ගෙවල්වල බූරු ගගහා තියා ගන්නෙත් නැහැ.

වෙද සීයා මිනිය පරීක්ෂා කරලා ඉණේ තිබුණු බෙහෙත් අඟ අරගෙන වතුර ටිකක් ගෙන්වා බෙහෙත් ගුලියක් දියකර ඇස් දෙක මුලට බිංදු දෙකක් දමා තියෙනවා. තවත් බෙහෙත් ගුලි කීපයක් හපලා පැපොල් බට කෑල්ලකින් නාසය තුළට පිඹලා තියෙනවා. විනාඩි පහක් විතර යන කොට මේ මිනියේ ඇහි පිහාටු නලියන්න පටන් අරගෙන.

“හා... හා... ඉක්මන් කරපල්ලා. ඉක්මන් කරපල්ලා ඔය කෙල්ලව අපේ ගෙදරට අරගෙන යමල්ලා” කියලා වෙද සීයා යන්න ආ ගමන අතහැරලා මේ පිරිසට ඉදිරියෙන් ගෙදර ගිහින්. ගමේ මිනිස්සුත් මොකක්ද මේ මිනී පෙට්ටියත් අර ගෙන වෙද ගෙදරට එන පෙරහර කියලා ඒ අයත් පස්සෙන් ඇවිත්.

ගෙදරට ඇවිත් වෙද සීයා කියලා තියෙනවා “දැන් ඉතින් කෙල්ලව ඔය ඉස්තෝප්පුවේ බිමින් තියාපල්ලා” කියලා පැදුරක් දීලා තියෙනවා. පැමිණි පිරිස ඒ ගෑනු ළමයව පෙට්ටියෙන් ඉවතට ගෙන බිමින් තියලා තියෙනවා.

                                                                             
ඊට පස්සෙ වෙද සීයා මතුරලා තෙල් ටිකක් ගාලා ළමය ගෙ ඇඟට සැර දුමක් අල්ලලා. මේ අතරෙ එතන හිටපු අයට බෙහෙත් ඖෂධ කැලෑ කොළ හොයා ගෙන එන්න කියලා. ඒ කියපු සැනින් ඒ මිනිස්සු සුරුස් ගාලා දුවලා ඒ බෙහෙත් ද්‍රව්‍යත් හොයා ගෙන ඇවිත්.

පළමුවෙන් ම ළමයා ගේ නහයෙන් නස්නයක් කරලා. ඊ ළඟට ඉස කුඩිච්චියක් දාලා. බෙහෙත් කොටලා අඹරවලා මුළු ඇඟේ ම තවරලා. පැයක් විතර යන කොට කෙල්ල ඇහි පිය ගහලා. තව ටිකක් වෙලා ගිහින් ඇහැ ඇරලා බලලා. තවත් ටිකකින් කෙඳිරි ගාන්න පටන් අර ගෙන. තවත් ටිකක් වෙලා ගිහින් අර නස්නය කරපු බෙහෙතුත් එක්ක වමනය කරලා. දැන් හැමෝගෙ ම හිතට හරි සතුටුලු. මේක ආරංචි වෙලා ඒ ළමයගෙ ගෙදර හිටපු උදවියත් දුව ගෙන ඇවිත්. ඒ අය වෙද සීයගෙ කකුල් දෙක අල්ල ගෙන පිං දිදී වඳිනවලු. ඊට පහුවදා උදේ එළිවෙන කොට කෙල්ල නැගිටලා පැදුරේ වාඩි වෙලා. වෙද සීය අනිත් අයට කීවාලු,

“දැන් කවුරු හරි එක් කෙනෙක් නතර වෙලා ඔය මිනී පෙට්ටියත් අරගෙන උඹලා ගමට පලයල්ලා” කියලා. ඒ උදවිය ගියත් තම තමන්ට පුළුවන් විදිහට අල බතල කුරහන් මීපැණි වගේ තෑගි බෝගත් අරගෙන දින පතා ම ඇවිත් ගිහින් තියෙනවා.

දෙවැනි දවසේ ඉඳලා ගෑනු ළමයා නැගිටලා ගෙදර දොරේ වැඩටත් උදව් වෙන්න පටන් අර ගෙන. තුන් වැනි දවසේ ඒ ළමයාගෙ උදව්වට නැවතී හිටිය අම්මවත්

“දැන් ඉතින් උඹත් ගෙදර පලයං” කියල ගෙදර යැව්වලු. ඊට පස්සෙත් සුමාන දෙකක් යනතුරු ම ඒ ළමයට ඉසකුඩිච්චි, ඖෂධ කැඳ, නයා දෂ්ට කළ තැනට බෙහෙත් පත්තු බැඳීම් කළා ලු. මේ අතරෙ ඒ ළමයත් ගෙදර කෙනෙක් වගේ ම ගෙදර දොරේ වැඩ පොළට උදව් වේවී හිටිය ලු.

මේ ගෑනු ළමයට හොඳට ම සනීප වුණා ම ඇගේ මව් පියෝ සහෝදරයෝ කැවිලි පෙවිලි තෑගි බෝගත් අරගෙන ආවලු කෙල්ලව එක්ක ගෙන යන්න.

හා... හා... හොඳයි හොඳයි කැවිලි පෙවිලි කෙසෙල් කැන් ගෙනාපු එකත් හොඳයි. ඒ වුණාට උඹලා මේ කෙල්ලව කැරකොප්පුවට අර ගෙන ගියේ වළ දාල යන්න නේද? එහෙම ගෙනාපු කෙල්ල ආයෙත් උඹලට මොකට ද? ඒකි ඔන්න ඔහේ හිටිද්දෙන්. ඒකිව මගේ ලොකු පුතාට කර කාර බන්දලා ;දනවා.” කියලා ඒ අයව ආපහු යවලා.

ඊළඟට තිබුණු නැකැත් දවසේ ගෑනු ළමයගෙ ගෙදර අයටත් එන්න කියලා පණිවුඩ යවලා. රෙජිස්ටාර්ව ගෙදරට ගෙන්නලා වෙද සීයා ඒ ගෑනු ළමයා තමන් ගේ ලොකු පුතාට විවාහ කැර දුන්නාලු.

වෙද සීයා මැරිලා දැන් හුඟක් කල්. ඒ ගෑනු ළමයා දැන් අවුරුදු අසූවක විතර අත්තම්මා කෙනෙක්. වෙද සීයගෙ ලොකු පුතාට අපි කියන්නේ බණ්ඩාර මාමා කියලා. ඒ දෙන්නට ම දැන් හොඳට ම වයසයි. ඒ අය සර්ප විෂ වෙදකම තවමත් කර ගෙන යනවා. අඹවල වෙද ගෙදර කීවාම ඒ ප්‍රදේශයේ කවුරුත් දන්නවා.

මා මේ කතාව කීවේ එදා වෛද්‍යවරුන් ළඟ වෛද්‍ය ශාස්ත්‍රය, මන්ත්‍රය ශාස්ත්‍රය, කෙම් ක්‍රමය, අත් ගුණය, වගේ දේවල් පිහිටලා තිබුණ බව කියනවා. පියවි ඇසට නොපෙනුනාට මේවා සහතික ඇත්ත. දැන් වුණත් ගිහින් අහලා බලන්න පුළුවන්. හැබැයි දැන් නම් සමාජයේ ගුණ ධර්ම පරිහානියත් එක්ක පොළොවේ රස ධාතුව හීන වෙලා. ගහ කොළවල පලවැල වල, ඖෂධීය ගුණයත් රස ධාතුවත් හීන වෙලා. ගුණ ධර්ම හීන මිනිස්සුන්ට යන්ත්‍ර මන්ත්‍ර බල පිහිටන්නෙත් නෑ යි පද්මසිරි දිසානායක දොස්තර මහතා කතාව හමාර කළේ ය.

වර්තමානයේ බටහිර වෛද්‍යවරු පවා, භෞතික විද්‍යා උපාධිධාරීන් පවා ටික දෙනෙක් හරි දැහැමි ප්‍රතිපත්ති රකිමින් භාවනාව ප්‍රගුණ කරනවා. පිනට දහමට, බණට දහමට නැඹුරු වෙලා ඉන්නවා. භාවනාවෙන් ලැබෙන නිරාමිස සුවය වින්දනය කරනවා. මේ විනාශ වී ගෙන යන ලෝකයේ ඒකත් සැනසිල්ලට සතුටට කාරණයක්.

සර්පයෙකු දෂ්ට කිරීමේදීත්, සර්ප විෂ ශරීර ගත වීමේ දී ත්, මරණයේදීත්, මළ මිනියටත් අපට නොපෙනෙන විශ්වයේ පවතින ජීවී අජීවී භූත කොටස්වල බලපෑම් පවතිනවා.

ප්‍රතිපත්තිමය ශීල භාවනාවල යෙදෙන අයට එවැනි දුකට පත් වූවන් සුවපත් කරන්නටත්, තමන්ට එළඹෙන අපල උපද්‍රව යම් තරමකින් හෝ පාලනය කර ගන්නටත් ඔවුන් ගේ කුසල ශක්තියෙන් හෙවත් කුසලතාවයෙන් පුළුවන් බව මේ වගේ සිද්ධිවලින් සනාථ වේ.
රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

Tuesday, January 24, 2012

රන් බණ්ඩේ මස් බණ්ඩේ වූ හැටි

0 comments
මේ 2010 වසරේ පෙබරවාරි මස 14 වන සිළුමිණ පුවත්පතේ පලවූ තවත් එක් සත්‍ය සිද්ධියකි.


මිනිස් ජීවිතවල සිදු වන ඇතැම් සිදුවීම් පිළිබඳ හරියාකාර නිගමනවලට පැමිණිය නොහැකි අවස්ථා බොහෝය. එවැනි සිදුවීම්වල දී මොනවා හෝ අනුමානයක් පවසා ඒ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම අතහැර දැමීම සිරිතය. එහෙත් මේවා මතකයෙන් ගිලිහී යෑම නම් සිදු නොවේ. මේ සිද්ධිය ද දශක ගණනකට පෙර වන්නි ප්‍රදේශයේ සිදු වූ එහෙත් තවමත් ගැමියන්ගේ මතකයෙන් ඉවත්ව නොගිය අරුම පුදුම කතාවකි.

හේරත් හාමි හේන් ගොවිතැනින් ජීවත් වූ ගැමියෙකි. ඔහු ගොවිතැනට අමතරව වනසතුන් දඩයම් කිරීම ද පුරුද්දක් කොට ගෙන තිබිණි. හේරත් හාමි ගේ බිරිය උක්කු මැණිකේ ද සැමියා ගේ සියලු කටයුතුවල දී මෙන්ම වෙහෙස මහන්සි වී හරි හරියට ගොවිතැන් වැඩවලට ද උදව් වූවාය. එසේ ම සැමියා පි‍්‍රය කළ අන්දමට කටට රහට ඉවුම් පිහුම් වැඩට ද දක්ෂ වූවා ය. ඔවුන්ගේ ගෙදර ළිපේ දඩ මස් ඇතිළියක් නොඉදුණු දවසක් තිබුණේ ම නැත. ඔවුනට සිටි එක ම දරුවා රන් බණ්ඩා ය.

තම පණටත් වඩා ආදරෙන් ඇති දැඩි කළ පුතණුවන් රටේ වැදගත් යැයි පිළිගත් රැකියාවක යෙදෙනු දැකීම මේ මව්පිය දෙපොළගේ එක ම අභිප්‍රාය වීය. ඒ නිසාම ඔහු පාසල් යවා අවශ්‍ය පරිදි උස් මහත් කොට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔව්හු කිසි විටෙක විය පැහැදමට පැකිළුණේ ද නැත. කිසි විටෙක තමන්ගේ ගොවිතැන් වැඩට හෝ දඩයමට පුතණුවන් සහභාගි කරවා නොගැනීමට ද අධ්‍යාපන කටයුතු සඳහා ම යොමු කිරීමට ද ඔව්හු වග බලා ගත්හ.

පාසල් අධ්‍යාපනයෙන් අවශ්‍ය විභාග සමත් වූ රන් බණ්ඩා රජයේ ලිපිකරු තනතුරක් ලබා රැකියාව සඳහා අගනුවර කාර්යාලයක පත්වීමක් ලැබීය. සෑම මාසයක ම වැටුප ලබා ගත් සැණින් මව්පියන්ට අවශ්‍ය ඇඳුම් හා වෙනත් තෑගි බෝග රැගෙන නොවරදවා ම ගෙදර යෑම ඔහුගේ සිරිත විය. පුතා ගේ නිසි වයස් එළැඹි විට ඔහුට කරකාරයක් කැර දීමට ද මේ දෙමව්පියෝ පරක්කු කළේ ද නැත. රන් බණ්ඩා කැමති වූයේ රැකියාවක් කරන තරුණියකට නොවේ. තමන් දුර බැහැර කල් ගෙවන බැවින් තම මව් පිය දෙදෙනාට ආදරයෙන් සලකමින් අම්මා ගේ ගෙදර දොර වැඩට උදව් වෙමින් කටයුතු කරන්නට සූදානම් සහකාරියකට ය. පුතාගේ අදහස් අගය කළ මව්පියෝ තමන්ට දුරින් නෑකම් ඇති පවුලකින් සුදුසු තරුණියක් සොයා ඒ විවාහය ද සිදු කැර දුන්හ.

මෙසේ කාලය ගෙවී යද්දී රන් බණ්ඩා දරුවන් තුන් දෙනකුගේ පියකු බවට පත් වූ අතර මව් පිය දෙදෙනා වයස්ගත වූහ. පළමුව ම උක්කු මැණිකා මිය ගියා ය. හේරත් හාමි ද වයස් ගත වුවද ඔහුට දඩමස් නැතිව ම බැරි විය. වයසේ හැටියට පරණ පුරුදු අත් නොහළ හේරත් හාමි දඩයම අත් හැරියේ ද නැත. දිනක් වල් ඌරු නාම්බකුට ගිනි බිඳින්නට ගොස් වෙඩි කෑ ඌරාගෙන් පහර කා තුවාල ලැබ රෝහල් ගත කරන්නට යෙදුණේ එයින් ම මිය ගියේ ය. රන් බණ්ඩා රැකියාවෙන් නිවාඩු ගෙන පැමිණ තාත්තා ගේ අවසන් කටයුතු කොට හත් දොහේ දානය ද දුන්නේ ය.

තාත්තා ගේ මළගමේ චාරිත්‍ර සියල්ල ඉටු කොට අවසන් කළ ද රන් බණ්ඩා නැවත රැකියාවට ගියේ නැත. ඔහුට රැකියාවට යෑමට හිත දුන්නේ ම නැත. රැකියාව කළ ආයතනයේ ප්‍රධානියා විසින් අවසන් කැඳවීමේ ලියුම එවූව ද, ආපසු රැකියාවට යනවා තබා රැකියා ස්ථානයෙන් එවූ ලියුමට පිළිතුරක් පවා යැව්වේ නැත. මේ වන විට උස් මහත්ව සිටි දරු තුන් දෙනාත් බිරියත් කෙතරම් ඇවටිලි කළ ද නැවත රැකියාවට ගියේ රන් බණ්ඩා නොවේ.
දැන් රන් බණ්ඩා එදා සිටි මිනිසා ද නොවේ. කිසිවෙකු සමඟ කතා බහක් නැත. යමෙක් යමක් ඇසුවොත් ඊට වචනයෙන් දෙකෙන් උත්තර දී මග හැර යන නිශ්ශබ්ද පුද්ගලයකු බවට පත්ව සිටියේ ය. රැවුල කපා ගන්නට පවා වුවමනා නොවූ ඔහුගේ මුහුණ සහ රැවුලෙන් වැසී තියුණු ඇස් දෙක පමණක් ඒ තුළින් මතුව පෙනිණි.
උදේ රැයින් ගිනි කඳයා කර තබා ගෙන කැලේට රිංගන ඔහු බොහෝ විට ආපසු ගෙදර එන්නේ ගොම්මන් අඳුර වැටුණාටත් පසුව ය. ඒ එන්නේ මොකෙක් හෝ සතෙක් දඩයම් කොට කර තබා ගෙන ය. මේ ගෙදර තුන් වේලට ම දඩමස් ඇතිළියක් ළිප උඩ දුම් දැම්මේ ය. ගෙදර ආහාරයට වැඩි දඩමස් කොටස ගම්මුන්ට විකුණුවේ ය.
රන් බණ්ඩා උදේට කර තබා ගෙන යන ලැයිසොන් තුවක්කුවට හෝ රෑට කැලේ මානා බඳින තුවක්කුවට හෝ දිනපතාම නොවැරැදීම වන සතෙක් ජීවිතය පූජා කරන්නේය. මෙසේ එළා ගන්නා දඩයම ගෙට තරමක් දුරින් පිහිටි ගල් පොත්ත උඩට ගෙන ගොස් මස් කිරිම ඔහුගේ සිරිත විය. ගල් පොත්තේ බෑවුම පැත්තේ පහළින් ශක්තිමත් ලී කණුවක් සිටුවා එහි සවි කරන ලද ලොකු යකඩ කොක්කක් විය. දඩයම් කළ සතා ගේ බොකු බඩවැල් ඒ යකඩ කොක්කේ අමුණා තැබීම ද රන් බණ්ඩා නොකඩවා ම සිදු කළ චාරිත්තරයක් වීය.

ඉස්සර රන් බණ්ඩා මහත්තයා යැයි මේ ගමේ කවුරුත් කට පුරා කීව ද කාලයා ගේ ඇවෑමෙන් රන් බණ්ඩේ මස් බණ්ඩේ බවට පත් වීය. එසේ ම රන් බණ්ඩේ කෙරෙන් තවත් විශේෂයක් සිදු වීය. එනම් රන් බණ්ඩේට උණක් හෙම්බිරිස්සාවක් වැළඳී දඩයමේ නොගිය ද, ධාරානිපතා වරුසාව නිසා දඩයමේ යන්නට නොහැකි වුව ද එදාට කැලේ සිටින හාවෙකු, මී මින්නෙකු හෝ අඩු තරමින් තල ගොයෙකු හෝ කැලෙන් මතු වී ඔහුගේ නිවසට දුවගෙන ඇවිත් රිංගා ගැනීමයි. එදාට දඩයමේ යන්නට නොහැකිව කල ගත කරමින් සිටින රන් බණ්ඩේගේ ගෙදරට ඉබේ ම ඇවිත් රිංගන සතාට සිදුවන්නේ කුමක් දැයි කියන්නට වුවමනා නැත.

මෙසේ කාලය ගෙවී යද්දී දිනක් සුපුරුදු පරිදි රන් බණ්ඩේ දඩයමේ ගියේ ය. කැලේට රිංගූ ඔහු ඒ කැලයේ අනිත් පැත්තට ගියේ ය. එහි දී ඔහුගේ තියුණු ඇසට ලක් වූයේ කන්ද පාමුල ලන්දේ උලා කමින් සිටි තිත් මුවැත්තියකි. මුවැත්තිය අසල ම ඇගේ පුංචි පැටවා ද දැවටෙමින් සිටියේය. රන් බණ්ඩේ මුවැත්තියට ඉලක්කය අල්ලා කොකා ගැස්සුවේය. එදා නම් දඩයක්කාරයා ගේ ඉලක්කය වැරදී ගියේ ය. වෙඩි වැදුණේ කුඩා පැටවාට ය. මුවැත්තිය වෙඩි හඬින් බිය වී ලේ ගලමින් දඟලමින් සිටි පැටවා දෙස අහස පොළව කම්පා කරවන බැල්මක් හෙළුවා ය. ඒ දෙසට පිම්මේ දුවගෙන එන දඩයක්කාරයා දුටු මුවැත්තිය ඒ වන විට පණ නළ සිඳී ගිය පැටවා අත හැර කන්දෙන් පහළට දුවන්නට වූවා ය.

දඩයම කරා ළං වූ රන් බණ්ඩේ මළ පැටවා ගේ ගාත් දෙකකින් එල්ලා ගෙන මුවැත්තිය පසු පසින් දිව්වේ ය. කන්ද පාමුල ඒ ගමේ කුඩා පන්සලක් විය. ඒ පන්සලේ ආරාම කුටියේ අසුනක හිඳගෙන සිටි තපස්සර හාමුදුරුවෝ දැහැත් වට්ටියෙන් පුවක් ගෙඩියක් ගෙන ගිරයෙන් කපා සුද්ද කරමින් සිටියහ. කන්දේ සිට දුවගෙන ආ මුවැත්තිය කෙළින් ම පන්සල් ගෙට දුවගෙන ඇවිත් හාමුදුරුවෝ හිඳ ගෙන සිටි පුටුව යටට රිංගා ගත්තා ය.

දුටු දෙයින් විමතියට පත් වූ හාමුදුරුවෝ පුටුව යටට එබී බැලූහ. ඒ වන විටත් දරු සෙනහසින් පීඩිතව සිටි බියපත් මුවැත්තිය ගේ බුරුල්ලෙන් කිරි වැගිරෙමින් තිබිණි. හාමුදුරුවන්ගේ නෙත ගැටුණු මුවැත්තිය අන්ත අසරණව කෙඳිරි ගෑවා ය. මුවැත්තිය, පසු පසින් දුවගෙන ආ දඩයක්කාරයා පන්සල් මිදුලේ තියුණු දෙනෙත් දල්වා ගෙන බලා සිටී. ඔහුට වැරදුණු කුරුමානම පන්සල් කුටිය ඇතුළට රිගූ බව හේ හොඳාකාරව ම දනී. අතකින් පුවක් ගෙඩියත් අනිත් අතින් ගිරයත් ගෙන සිටි තපස්සර හාමුදුරුවෝ ද ඔහු දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයෙනි.

රන් බණ්ඩේ ආපසු හැරුණේ ය. රාත්තල් දෙකකවත් මස් බරක් නැති තිත් මුව පැටවා ද එල්ලා ගෙන ආපසු ගියේ ය. වෙනදා පරිදි ම ගල් තලාව මුඳුනට නගින්නට විය. ගල මත්තේ මස් කපන කොළොම්බු කොටයට ළං වෙනවාත් සමඟ ම රන් බණ්ඩේ පය පැටළී වැටුණේ ය. මුව පැටවා පැත්තකට විසි විය. ගිනි කඳයා අතින් පැත්තට විසි විය. පය පැටළී වැටුණු රන් බණ්ඩේ ගල පාමුලට පෙරළෙන්නට විය. ගල පාමුල කණුවේ සවි කොට තිබූ යකඩ කොක්ක පපුවේ ඇනී රන් බණ්ඩේ ගේ ප්‍රාණ වායුව ද “හාස්” ගා වාතලයට එක් විය.

වෙනදා හැන්දෑවට නොවරදවා ම ගෙදර එන තාත්තා එදා ගෙදර ආවේ නැත. අහස ගොරවමින් මහ වැස්සක් කඩා හැළෙන්නට විය. ගෙට නුදුරින් නරි රංචුවක් හූ කියන්නට විය. ගෙදර හදන බල්ලා ද ඊට අනුව උඩු බුරලන්නට විය. මේ මූසල වටපිටාව අම්මා ගේ සිතේ බියක් ඇති කළේය. මේසය මත රන් බණ්ඩේගේ බත් පංගුව පිඟානකින් වසා තිබිණි. ඒ අසල දඩමස් ව්‍යංජනය ද බත් පංගුවට තනි රැක්කේය. එදා පැවතුණු වරුසාවෙන් ඇති කළ තද සීතල ද අමාවකේ ඝන අඳුර ද සම්පූර්ණයෙන් පලවා හරින්නට අසමත් වූ අස්කෝ ලාම්පුවේ ආලෝක දැල්ල දුප්පත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි.
දරු තුන් දෙනා තද නින්දේ ය. තවමත් ගෙදර නොපැමිණි සැමියා කොයි වේලේ හෝ පැමිණ දොරට තට්ටු කරනු ඇතැයි සිතමින් ඇඳි පුටුවේ හිඳ ගෙන කිරා වැටෙමින් නින්දත් නොනින්දත් අතර කල්පනා කරමින් සිටි බිරියගේ සිතට දැන් දැන් බිය සහිත මූසල සිතුවිලි ගොඩ නැගෙමින් තිබිණි.

කෑම මේසයේ පිඟානත් පෙරළෙන සද්දයක් ඇගේ සවනේ වැකුණි. නැගිට ගොස් ඒ කුමක් දැයි බලන්නට පවා ඇගේ සිත උනන්දු ගතියක් දැක්වූයේ ද නැත. එහෙත් ඒ සැමියා ගේ රාත්‍රි ආහාරය බැවින් එය සොයා බලන්නට ලාම්පුව ද අතින් ගෙන ඈ කෑම කාමරයට ගියාය. ඒ වන විටත් මස් දීසිය සම්පූර්ණයෙන් කා අවසන් කොට තිබුණු කළු බළල් තඩියෙක් මේසය මතින් ඉවතට පැන ගියේය. මේ අද දවසේ සිදු වන්නේ මොනවාදැයි හිතා ගන්නට බැරි තරමින් අවුල් වී පැටළුණු සිතුවිලි වලින් යුතු බිරිය නැවතත් සාලයට පැමිණ පුටුවට බර දුන්නා ය. එදා රාත්‍රිය ද වෙනදාට වඩා මහා දිග එකක් විය.

යම්තමින් ඇටි කුකුළෙකු බුග් ගා හඬනු ඇසුණු අම්මා නැගිට ගොස් ළිප ගිනි දල්වා තේ වතුර වත් කළාය. තේ වත් කොට
“දරුවනේ නැගිටපල්ලා. තාත්තා තාමත් ගෙදර ආවේ නෑ” යි පැවසුවාය. දරු තිදෙනා ද වහා නැගිට තවමත් ගෙදර නොපැමිණි තාත්තා ගැන කතා කරමින් සිට යම්තම් එළිය වැටුණු විට තාත්තා සොයන්නට නිවසින් පිටත් වූහ.
ඔවුන් සමඟ පසු පසින් ආ බල්ලා බුරා ගෙන දුවනවාත් සමඟ ම නරි රෑනත් නෝක්කාඩු කියමින් පලා යනු දැක දරුවෝ එදෙස බැලූහ. දෙය්යනේ තාත්තා ගේ සිරුර යකඩ කොක්කේ තදින් ඇමිණි තිබෙනු දක්නට ලැබුණි.
මේ රන් බණ්ඩේ බව සහසුද්දෙන් ම හඳුනා ගන්නට තිබුණු ප්‍රධාන සාධකය වූයේ ඔහු හැඳ සිටි සරමේ ඉරි ගිය රෙදි කැබලි ය. නරි මිනී මසට ඒ තරමට ම ගිජු ය.

රචනා කලේ මතුගම මහින්ද විජේතිලක

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය

0 comments
මේ 2010 වසරේ පෙබරවාරි මස 7 වන සිළුමිණ පුවත්පතේ පලවූ තවත් එක් සත්‍ය සිද්ධියකි.

මිනිස් සිත පුදුමාකාර ශක්තියකින් යුක්තය. නිතර ම ඇලීම හා ගැටීම ස්වභාවය කොට ගැනීම නිසා භවයෙන් භවයට සංසාරික ගමනක නිරන්තරව යෙදේ. මේ සංසාරික භව ගාමීත්වයේ දුක්ඛ සහගත බව වටහා ගත් ඉතාම සුළු පිරිසක් එයින් මිදීම සඳහා ස්වකීය අධ්‍යාත්මය සංවර්ධනය කැර ගැනීමේ යෙදී සිටිති. එය පහළට වේගයෙන් ගලා යන ගංගාවක උඩුගං බලා පිහිනීමක් වැනිය. එසේ නොවුණා වූ බහුතරය තණ්හාව උපාදාන කොට ගෙන වුවමනාවන් පිරිමසා ගැනීම සඳහා මොහොතක් පාසා සිතුවිලි ගොඩනඟමින් ජීවත් වෙති. මිය පරලොව යති. නැවත නැවත උපදිති. තණ්හාව මූලික වූ සිතුවිලි පොදි බැඳගෙන අම්බලමෙන් අම්බලමට යන්නෝ තමන්ට ද අනුන්ට ද හිරිහැර වන්නා වූ ගමනක යෙදේ.

සුමනරත්න බෞද්ධ තරුණයෙකි. ජෙනීටා ක්‍රිස්තියානි පවුලක සුරූපී තරුණියකි. මේ දෙදෙනාගේ පෙම් පලහිලව්වට දෙපැත්තේ ම පවුල්වල අය කැමැත්තක් දැක්වූයේ නැත. විශේෂයෙන් ම ජෙනීටා ගේ නැඟණිය රීටා අක්කාගේ සම්බන්ධය නතර කරන්නට නොගත් උත්සාහයක් නැත. රීටා බැරි ම තැන සුමනරත්න ගේ අය්යා ජයරත්න සමඟ මිතුරුකමක් ගොඩනඟා ගත්තේ ඔහුට ඇති ආදරයකට නොවේ. ජෙනීටාත් සුමනරත්නත් ඈත් කිරීමේ අභිලාෂයෙනි. දෙපාර්ශවයේ ම විරෝධතා නිසා මේ පෙම්වතුන් යුවළ මුණ ගැසුණේ හොර රහසේ ය.

එයිනුත් වැඩි පුර ම ඔවුන් මුණ ගැසුණේ රාත්‍රි කාලයේ ය. නිවසේ සියලු දෙනා නින්දට ගිය පසු රාත්‍රි 10 - 11ට පමණ හෙමින් සීරුවේ නිවසින් පිටවන ජෙනීටා නිවසට නුදුරෙන් ගලා යන ගඟේ ඉවුරේ වැලිතලාවේ දී සුමනරත්න මුණගැසුණා ය. කෙසේ නමුත් කිසිවකුට දැන නොගන්නා සේ අවුරුද්දක් පමණ මෙසේ මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ජෙනීටා ගැබ් ගත්තාය.

මේ අතර සුමනරත්න මොළේ උණ රෝගය වැළඳී කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඔහු බලන්නට ආ ජෙනීටා තමන් පත්වී සිටින අවදානම් තත්ත්වය සුමනරත්නගේ කනේ තැබුවාය. යම්තම් සුව වූ සැණින් ටිකට් කපාගත් සුමනරත්න ගමට පැමිණ රහසේ විවාහවීමට ජෙනීටා ට යෝජනා කළේය. ඒ වන විට පැවති ආර්ථික ගැටලු නිසා ජෙනීටා හදිසි විවාහයකට ගෙදරින් පිට වී යෑමට අකැමැත්ත පළ කළ බැවින් රහසිගතව ;;වද්‍යවරයකු ළඟදී ගබ්සා කිරීමකට ඉදිරිපත් වූවාය.
ඒ ගබ්සාවෙන් දින දෙකකට පසු ජෙනීටාට තද උණක් වැළඳුණි. ගම්බද රෝහලකට ඇය ඇතුළත් කළ අතර උණ ගතිය දිනෙන් දින උග්‍රවී ජෙනීටා මිය ගියාය. මේ වනතුරු ඇගේ ගබ්සාව පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත. ඇය මිය ගිය බව දැනගත් සැණින් රෝහලට ගිය සුමනරත්න ඇගේ මිනිය බදාගෙන හඬන්නට වූයේය. තමන් වෙත පිදූ ආදරය නිසා ජීවිතය අහිමි වූ පෙම්වතිය වෙනුවෙන් සුමනරත්න ද ජීවිතය පිදීමට සිය දිවි හානි කැරගැනීමට තීරණය කළේය. ඔහු තමන් නිසා ජෙනීටා මිය ගිය බවත්, මරණයට හේතුව ගබ්සා කිරීම බවත් ප්‍රකාශ කරමින් හඬා වැළපීම නිසා මේ සිද්ධිය රෝහල් නිලධාරීන්ට සැලවී නීතිය ක්‍රියාත්මක විය.
ජෙනීටා ගේ අවමංගල්‍ය දිනයේ ඇගේ නිවසේදී ම සුමනරත්න සිය හිසට වෙඩි තබාගැනීමට සූදානම් වුවත් පතුරොම පත්තු වූයේ නැත. ඉන්පසු ඇය භූ®මදානය කළ දින රාත්‍රියේ සුමනරත්න ඇගේ මිනීවල මත සැතපී නිදිපෙති 25 පානය කළේය. එහෙත් ඔහු ගැන නිතර අවධානයෙන් සිටි හිතවතුන් විසින් වහාම රෝහල්ගත කරන්නට යෙදුණු නිසා සුමනරත්න දින තුනක නින්දකින් අවදි වී සුවපත් වූයේ ය. 
මේ අතර සුමනරත්නගේ මව, ”පුතේ උඹ ජීවිතේ නැතිකැර ගත්තොත් මමත් බෙල්ල කපාගෙන මැරෙනවා” යැයි නිතර හඬා වැළපෙන්නට වූ බැවින් සුමනරත්න සිය දිවි නසා ගැනීමේ චේතනාව අත්හළේය.
රෝහල හා පොලීසිය එක්වී නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ජෙනීටා ගේ මරණය පිළිබඳ අධිකරණයේ නඩු පැවරිණි. සුමනරත්න කිසිදු බලාපොරොත්තුවක් නැතිව මිය ගිය පෙම්වතිය වෙනුවෙන් සිර දඬුවම් විඳීමට සූදානම්ව සිටියේය. කෙසේ නමුත් මේ වන විට ජෙනීටාගේ භූතාත්මය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ඔහු දැන සිටියේය. සුමනරත්න බලාපොරොත්තු නැති අවස්ථාවක රජයේ නීතිඥවරයෙකු ඔහු වෙනුවෙන් නඩුවට පෙනී සිටීම නිසා හේ නඩුවෙන් නිදහස් වීය. එහෙත් ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාට අවුරුදු දහයක අත්හිටවූ සිරදඬුවමක් හා ජෙනීටාගේ පියා වෙත රුපියල් දසදහසක වන්දියක් ගෙවීමට තීන්දු විය.
මේ වන විට සුමනරත්න දිනපතා රාත්‍රියට ජෙනීටා කැමති ආහාර පාන රැගෙන ඇගේ මිනීවල වෙත යෑමට පුරුදුව සිටියේය. මෙසේ ආහාර පාන ගෙනැවිත් තබා ඇය වෙනුවෙන් මිනීවල මත හිඳගෙන හඬාවැළපීම ඇගේ භූතාත්මයට ද මහත් වේදනාවක් විය. මෙය විඳ දරා ගත නොහැකි වූ ජෙනීටා සිහිනෙන් පෙනී ඔහු මෙහෙයවන්නට වූවාය. අසල ගමක තරුණියක් පෙන්වා ඇය විවාහ කරගෙන සතුටින් ජීවත්වන්නැයි සුමනරත්නට බලපෑම් කළාය. මෙසේ නිතර මේ ගැන සිහිනෙන් පෙන්වීම නිසා ද, ජෙනීටා ගේ ඉල්ලීම නිසා ද සුමනරත්න මේ අල්ලපු ගමේ තරුණිය ගැන සොයා බැලුවේය. නිමලා නම් වූ ඇය ද මේ භූතාත්මයේ බලපෑම නිසා දෝ සුමනරත්න දුටු සැණින් ඔහු සමඟ විවාහවීමට කැමති වූවාය.
මේ කිනම් කටයුතුª තිබුණ ද සුමනරත්න මිය ගිය ජෙනීටා වෙනුවෙන් කළ යුතු පින්දහම් නොපිරිහෙළා ඉටු කළේය. ජෙනීටා ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවේ කාන්තාවන්ට මාස්පතා ඇය මියගිය දිනය වෙනුවෙන් බුරියානි ආහාර පාර්සල් පරිත්‍යාග කොට පින් දුන්නේය.
මේ අතර දෙපාර්ශවයේ කැමැත්ත ඇතිව සුමනරත්න හා නිමලා අතර විවාහය සිදුවිය. වසර තුනක් ඉක්ම යන විට ඔවුහු දරු දෙදෙනෙකුගේ මව්පියන් බවට පත්වූහ. සුමනරත්න දරු දෙදෙනාටත් බිරියටත් ඉතා ම ආදරයෙන් සැලකුවේ ය. ආරක්ෂක අංශයේ රැකියාවක නිරතව සිටි ඔහු රැකියාවට යන විට දරු දෙදෙනාත් බිරියත් සිපගෙන නිවසින් පිටව යන තරමට ආදරයෙන් සෙනෙහසින් යුක්ත විය. නිමලාගේ ගුණයහපත්කම් හා අරපිරිමැසුම්කාරී ගෘහ පාලනය පිළිබඳ පැහැදීම තුළින් මේ අඹුසැමි යුවළ ඉතා ම ප්‍රීතියෙන් හා සමඟියෙන් කල් ගෙවූහ.
භූතාත්මයේ සිටිය ද ජෙනීටාගේ චිත්තසන්තානය දැන් දැන් ඉරිසියාවෙන් පුපුරු ගහන්නට විය. සුමනරත්න සිය බිරිය නිමලා ආදරයෙන් සිප වැලඳ ගන්නා වාරයක් පාසා ජෙනීටාගේ වේදනාවේ පීඩාවකට පත්වූයේ ඒ නපුරු සිතුවිලි තුළින් වෛරයක් ගොඩනැඟුණි. මේ කිසිත් නොදන්නා නිමලා තම ස්වාමිපුරුෂයාගේ රැකියාවේ ආදායමට තමන්ගේ උත්සාහයේ ශක්තියත් එකතු කරම්හයි සිතා කුඩා වෙළඳසලක් ආරම්භ කළාය. පිටිසර ගම්මානයක් මැද පටන්ගත් මේ පුංචි කඩය ගම්වැසියනට ද පහසුවක් විය. ඩීසල්, පැට්‍රල් පවා අලෙවියට තිබුණි. නිමලාගේ උත්සාහයත්, ධෛර්යයත් පිළිබඳ ආඩම්බර වූ සුමනරත්න තව තවත් සිය බිරිය කෙරෙහි ඇලුම් කරමින් ආදරයෙන් සැලකුවේය.
එහෙත් කිසි ම හේතු සාධකයක් නැතිව ක්‍රමයෙන් නිමලාට සුමනරත්න කෙරෙහි අකැමැත්තක් අප්‍රසන්නතාවක් ගොඩනැඟෙන්නට විය. වෙනදා ආදරයෙන් වැළඳගත් ආදරණීය සැමියා තමන් ළඟට සමීප වනවාට පවා ඇය අකැමැති වූවාය. මේ වෙනස සුමනරත්නට තදින් දැනුණු බැවින් නිමලා මානසික වෛද්‍යවරුන් වෙත පවා ඉදිරිපත් කොට ප්‍රතිකාර අපේක්ෂා කළත් ඔවුන්ගෙන් පැවසුණේ ඇයට කිසිදු රෝගයක් නැති බවය. මේ සියල්ල ඉවසා දරාගත් සුමනරත්න බිරියට වෙනදාටත් වඩා ආදර කරුණාවෙන් සැලකුවේය.
ජෙනීටා ගේ භූතාත්මය තව තවත් උපායශීලීව ක්‍රියාත්මක වන බව ද සුමනරත්නට දැනෙන්නට විය. එහෙත් මුලදි බැන්ද සෙනෙහස තුළින් ජෙනීටා කෙරෙහි අහිතක් හිතන්නට පවා ඔහු සිත් දුන්නේ නැත. ඇය මේ අවුල් වියවුල් ඇති කරන්නේ ද තමන් කෙරෙහි බැඳුණු ආදරය නිසා යැයි සිතන්නට පවා මේ ඇල්ම හේතු සාධක විය. මේ අතර නිමලා ගේ වෙළඳසැලෙන් ගනුදෙනු කරන්නට පැමිණෙන තවත් රජයේ සේවකයෙකු පිළිබඳ කුළුපගතාවකයක් ඈ තුළින් මෝදුවන්නට වූවාය. ඒ කුළුපගතාවය ටිකෙන් ටික දුර දිග යන තරමට කරුණු කාරණා යෙදෙන්නට ද විය.
මේ බව සුමනරත්නට සිහිනෙන් පෙන්වීමට පවා මේ වන විට ජෙනීටා ගේ භූතාත්මය ශක්තිමත් වී සිටියාය. මේ වන විට නිමලාගේ අනියම් සබඳතාව පවුලේ ඥාතීන් අතර පමණක් නොව පිටස්තරයන් අතර ද රහසක් වූයේ නැත. සුමනරත්න මේ පිළිබඳ ආදරයෙන් ම ඇයට අවවාද කළේය. කෙසේ නමුත් මේ වන විට සුමනරත්න කෙරෙන් නිමලාගේ සියලු සම්බන්ධතාවයන් ඈත් වන තත්ත්වයට කටයුතු යෙදී තිබුණි. එහෙත් සුමනරත්න උදේට රාජකාරියට පිටත්ව යන අවස්ථාවේ දරු දෙදෙනාත් බිරියත් එක පොකුරට සිප වැළඳගෙන යෑමේ සිරිත නිරන්තරයෙන් ම සිදුවිය.
හිටි හැටියේ ම නිමලා අතුරුදන් වූවාය. ඇය ආ ගිය අතක් සොයා ගන්නට කිසිවෙකුට නොහැකි විය. පොලිසියේ පැමිණිලි සටහන් කැරිණි. සුමනරත්න දරු දෙදෙනා සමඟ බෝධි පූජා පැවැත්වීය. දේවාල කෝවිල් ගානේ පුද පුජා පැවැත්වීය. එහෙත් නිමලා සිටින තැනක් පිළිබඳ කිසිම හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ නැත.
මේ අතර සුමනරත්න ගස්නාවේ ඥානානන්ද හිමියන් වෙතට ද පැමිණි උන්වහන්සේ ගේ උපදෙස් අනුව බෝධි පූජා ආදී වත්පිළිවෙත්හි යෙදුණේය. මේ වන විට නිමලා සිය වෙළඳ සැලේ දී හඳුනාගත්, කුළුපග වූ මිත්‍රයා විසින් සොයා දෙනු ලැබූ තැනක සිටිනවා දැයි සැකයක් ද සුමනරත්න තුළ හටගෙන තිබුණි. කෙසේ නමුත් පොලීසිය ගත් ක්‍රියාමාර්ග අනුව නිමලා සිටින තැන සොයා ගෙන පරීක්ෂණ සඳහා ගෙන එනු ලැබිණි.
මෙහිදී නිමලා හැසිරුණේ සුමනරත්න කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. මේ තරම් ආදරයෙන් හා සියලු සිදුවීම්වලට සමාව දී බාර ගැනීමට සූදානම්ව සිටින නීත්‍යානුකූල කරුණාවන්ත ස්වාමිපුරුෂයා මෙතෙක් කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්වූ සතුරෙකු සේ සලකමින් ඇය කටඋත්තර දුන් ආකාරය සුමනරත්නගේ මනස උඩු යටිකුරු කළේය. කෙසේ නමුත් අහිංසක දරු දෙදෙනා ගැන කල්පනා කොට හෝ ගෙදර එන ලෙසට ඔහු කළ ඉල්ලීම පවා නිමලා ප්‍රතික්ෂේප කළාය.
ජෙනීටා ගේ මළ සිරුර වළ දැමූ තැන දැන් මහ ගස් වැඩී ඇත. එහෙත් ඇගේ ආත්මය තවමත් ආදරය වෙනුවෙන් සැරිසරයි. ඇය කෙරෙහි ආදරයෙන් සුමනරත්න සිය දිවි හානි කැර ගැනීමට පවා සූදානම් වෙමින් වේදනාවෙන් කටයුතු කරන විට ඔහු වෙනත් තරුණියකට සම්බන්ධ කරවන්නට තරම් ඇගේ බලපෑම් ප්‍රබලව ක්‍රියාත්මක විය. ඉන්පසු සුමනරත්න ඔහුගේ බිරිය සමඟ ප්‍රීතියෙන් හා සමාදානයෙන් කල් ගෙවන ආකාරය දැක ඊර්ෂ්‍යාවට පත් මේ භූතාත්මය ඒ පවුල අවුල් කැර දැමුවාය.
ඇලීමක ඇති ප්‍රබලතාවය සනිටුහන් කරමින් සුමනරත්න තවමත් මේ දෙදෙනා කෙරෙහි ම ඇල්මෙන් කටයුතු කරයි. එහි ආදීනවය වශයෙන් ඔහු තවමත් නොනිමෙන ගිනිදැල් අතර දැවෙමින් අසහනකාරීව කල්ගෙවයි. සියලු වරදට සමාව දී නිමලා නැවතත් තමන් කරා ගෙන්වා ගැනීම සඳහා උපායමාර්ග සොයමින් සිටී. මේ අතර අහිංසක දරු දෙදෙනෙක් මව් නැති සොවින් දුක්විඳිති. නින්දත් නොනින්දත් අතර පසුතැවෙන සුමනරත්නට ජෙනීටාගේ උපහාසාත්මක සිනහව රැව්පිළිරැව් දෙනු පෙනේ.

කතාව : මතුගම මහින්ද විජේතිලක