Thursday, January 19, 2012

කරෙන් වැලි ඇදලා ඔය විහාරය හැදුවේ මම

හැදින්වීම

 අපට එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන අසාමාන්‍ය සිද්ධීන් සහ ඒවායේ නොදුටු පැතිකඩ මෙම බ්ලොග් අවකාශයේ පලවේ. මෙහි පලකෙරෙන සිද්ධීන් සියල්ලම පාහේ ශ්‍රී ලාංකික ජාතික පුවත් පතක් වන සිළුමිණ පුවත් පතේ පලවූ ඒවා වන අතර ඒවායේ සියලුම අයිතිය සහ ගෞරවය මතුගම මහින්ද විජේතිලකයන් සතුවේ. මෙම බ්ලොග් අවකාශයෙන් කෙරෙනුයේ එම කෙටිකතා පාඨකයන්ගේ කියවීමේ පහසුව තකා එක් තැන් කිරීම සහ ඒ පිලිබද සාකච්ඡාවක් ඇති කිරීමයි.
මේ පිලිබදව ඔබගේ සියලු අදහස් අපි සතුටින් බාර ගන්නෙමු.  


මේ 2010 වර්ෂයේ මාර්තු මස 13 වැනි දින සිළුමිණ පුවත් පතේ පලවූ කතාවකි.
                                     මිනිස් ජීවිතය අවසානයේ දැඩි තණ්හාවෙන් හෝ බද්ධ වෛරයෙන් සිතුවිලි ගොඩ නඟා ගෙන මරණින් මතු දුගතිගාමීව දුක් විඳින සත්ත්වයෝ බොහෝය. යම් යම් පුද්ගලයන් හෝ වස්තූන් කෙරෙහි ඇල්මෙන් මෙය මාගේ යැයි දැඩිව සිතින් අල්ලා ගෙන ආශාවෙන් ඉපිදීම නිසා තමන් ගේ සිතැඟියාවනට පරස්පරව කටයුතු සිදු වන විට වෛරයෙන් පළිගැනීමක් සිදු වේ. මිනිසා තුළ හට ගන්නා සිතුම් පැතුම් මෙන්ම දුගතිගාමී සත්ත්වයා ගේ අදහස් ද එසේ ම ය.
එහෙත් අකුසල කර්ම විපාක නිසා අනේක විධ දුක් විඳින ප්‍රේතාදි අමනුෂ්‍යයන්ට ඔවුන් විසින් අතීතයේ සිදු කරන ලද කුසල කර්මයන් කෙසේ හෝ උත්සාහ කොට ඔවුන්ට සිහිපත් කැර දුනහොත් එය සිහිපත් වූ සැණින් ප්‍රමෝදයට පත් ව පුණ්‍යානිසංස වශයෙන් සිටින දුක්ඛ දායක තත්ත්වයෙන් උසස් වෙයි.
ප්‍රේතාදී අමනුෂ්‍යයෝ මිනිසුන් මෙන් නොව, යමක් සද් භාවයෙන් පැහැදිලි කැර දුන් විට එය විශ්වාසයෙන් පිළිගනිති. එය ඔවුන්ගේ ආත්මවල ස්වභාවයකි. ඒ අතර දරුණු කට්ට කෛරාටිකයෝ ද නැතුවා නොවේ. බුදු දහම තුළින් මේ පිළිබඳ හොඳම සාධකය ඉදිරිපත් කළ හැක්කේ ආටනාටිය සූත්‍රයෙනි. උතුරුදිග් භාගයට අධිපති, ධන සම්පත්වලට අධිපති, සියලු අමනුෂ්‍යයන් පාලනය කරන්නා වූ වෛශ්‍රවණ වරම් දෙවියෝ බුදුරජාණන් වහන්සේ වෙත, අනිකුත් වරම් දෙවිවරුන් වන ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, යන චාතුර්මහාරාජික මහ දෙවිවරුන් පිරිවරා ගෙන පැමිණ කළ ප්‍රකාශය හා පොරොන්දුව සිහිපත් කළ යුතුය. පංචශීලය අවංකව ආරක්ෂා කරන මනුෂ්‍යයන්ට ආටානාටිය සූත්‍රය තුළින් එවැනි අමනුෂ්‍ය දෝෂයන්ගෙන් නිදහස් විය හැකිය. එය අවංකව ම සිල්වත්ව, දන් පැන් දෙමින් කළ යුත්තකි.
ඒ මිසක තමන්ගේ අයිතිය උරුමය ඇතිව ආශාවෙන් මිය ගිය කෙනකු තමන් ගේ කෙනකුට, ඉඩමකට, නිවසකට, ඇල්මෙන් පැමිණ භූතාත්මයක සිට කරදර කරන විට ඒ ආත්මය පලවාහරින්නට කිසිවකුට අයිතියක් නැත. ඇදුරන්ට කිසිම සාධාරණ අයිතියක් නැත. ඒ නිසා භූතාත්මයට කෙසේ හෝ කරුණු අවබෝධ කොට ඔහු කළ පින් සිහිපත් කරවන අප කළ පින් අනුමෝදන් කරවා ඔහුගේ සිතෙන් ඇල්ම හෝ වෛරය යටපත් කරවා පුණ්‍යස්ථානයකට යවා පිනට දහමට යොමු කළ යුතුය. මේ එවැනි කතාවකි.
රුහුණේ ගිනි සිළුව නමින් ප්‍රසිද්ධව සිටි සටන්කාමී සුගලා බිසව විසූ රජ වාසලකි. අද එතැන විහාරස්ථානයකි. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පූජ්‍ය ස්ථානයකි. මෙහි ඉදිරිපිට සෙල් ලිපියක් පිහිටුවා ඇත. එහි “පු.නා.උ.රා” යැයි සඳහන් වේ. මේ විහාරය 1849 අලුත්වැඩියා කළ බව සඳහන් කොට ඒ යටින් පු.නා.උ.රා. යන අකුරු හතර කොටා ඇත.
එයින් අනාවරණය වන්නේ මේ විහාරස්ථානය වල්වැදී අබලන්ව ජරාවාසව තිබුණු බවත්, මේ විහාරස්ථානය අලුත්වැඩියා කළ යුතුය යන හැඟීම ඇතිවූ “පුවක්දණ්ඩාවේ නාරායන උපාසක රාල” නමැති උපාසක මහතෙක් එම විහාරස්ථානයට යාබද නිවසක පදිංචිව සිට උනන්දුවෙන් කටයුතු කළ බවත් ය. හේ එම විහාරස්ථානය අසල ඇති වැවක සිට වැලි ගොඩ දමා, කදෙන් වැලි ඇද මේ විහාරස්ථානය අලුත්වැඩියා කළ බවයි.
හේ විහාරය ගොඩනඟා දොර අගුළු සවිකොට උදේ හවස බුද්ධ පූජා වන්දනා කටයුතු කැරගෙන ගියේය.
ප්‍රදේශවාසී සැදැහැවත් බැතිමතුනට මෙම විහාරය වන්දනා කරන්නට අවශ්‍ය වූ විට විහාරස්ථානයට යාබද ඉඩමේ විසූ නාරායන උපාසක රාලට කී විට ඔහු දොර යතුර රැගෙන පැමිණ විහාරයේ දොර ඇර දෙයි. වන්දනාකරුවන් ආපසු ගිය විට දොර අගුළු දමා යතුර ආපසු ගෙදරට ගෙන යයි.
දිනක් තිස්සමහාරාම ප්‍රදේශයේ සිට තරුණ ස්වාමීන් වහන්සේ දෙනමක් මේ විහාරය වන්දනා කිරීමට පැමිණියහ. නාරායන උපාසක රාල පැමිණ විහාරයේ දොර ඇර දුන්නේ ය. ස්වාමීන් වහන්සේ දෙන ම වතාවත් සිදු කොට වන්දනා කර විහාරයෙන් පිටතට පැමිණියහ. නාරායන උපාසක රාල නැවත දොර වසා අගුළු දමනවාත් සමඟ ස්වාමීන් වහන්සේ දෙනම වහා ඉදිරියට පැමිණ ඔහු තල්ලු කැර දමා යතුර උදුරා ගෙන ගියහ. උන්වහන්සේ පසු දින ආපසු පැමිණ පොල්අතුවලින් කුටියක් සාදාගෙන එහි පදිංචි වූහ.
නාරායන් උපාසක රාල තමන් ගොඩනැඟූ විහාරස්ථානය තමන්ට අහිමිවීම පිළිබඳ අසාධාරණයක් සිදුවී යැයි නඩු දැම්මේය. එවකට එහි පැවතියේ ගම්සභා උසාවියකි. නඩුව විභාග කළ ඉංග්‍රීසි ජාතික නඩුකාරයා සඟ සතු දේපළ ගිහියන්ට අයත් නැතැයි තීන්දු කළේ ය. මේ සිද්ධියෙන් වේදනාවට පත් නාරායන උපාසක රාල ඒ වෛරයෙන් ම රෝගාතුර වී මරණයට පත් විය.
ඔහුගේ මරණයෙන් මාස තුනකට පමණ පසු මේ විහාරස්ථානයේ නේවාසික භික්ෂූන් වහන්සේ රාත්‍රි 2ට පමණ නින්දෙන් අවදි වූයේ භයංකර දර්ශනයක් දකිමිනි. අඩි පහකට වඩා උස නැති, මිටි යක්ෂයෙක් ඔහු මෙන් දෙගුණයක් උස යක්ෂයින් හැට දෙනකු පිරිවරා ඇවිත් අඩි හයක් තරම් දුරින් නතර වෙයි. මිටි යක්ෂයා තට්ට හිසකින් යුක්තය. ඔහු මුවින් නොබැණ අතින් පයින් සංඥා කරමින් මිනිසකු මවා පෙන්වයි. ඒ මිනිසා සරමක්, මේස් බැනියමක් ඇඳ කළු පටියක් ඉනේ බැඳ, අමුඩ ලේන්සුවක් කරේ දා සිටී.
ඔහුට ඇත්තේ දෙකට බෙදුණු තට්ට හිසකි. මිටි යක්ෂයාට ඇත්තේ ද දෙකට බෙදුණු තට්ටයකි. මේ දර්ශනය දුටු ස්වාමීන් වහන්සේ විහාරය හැර යන්නට වූහ. මේ විහාරස්ථානය සම්බන්ධ තිස්ස ප්‍රදේශයේ විහාරයෙන් නැවත නැවත ස්වාමීන් වහන්සේ එවුව ද මාස කීපයකට වඩා නොසිට එතැන අත්හැර ගියහ. පුද පූජා පිළිවෙත් කළ ද යක්ෂයා මාසයකට කීපවරක් රාත්‍රි 2ට පමණ පිරිවර සමඟ පැමිණ ගියහ.
අවසානයට පැමිණි ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය මඟ හැරීමට වඩාත් උනන්දු වූහ. මෙවැනි ගුප්ත ගවේෂණවල යෙදෙන බෙලිඅත්තේ බැංකු නිලධරයකු වූ ඇල්බට් හේවගේ මහතා සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ පියවරක් ගත්හ. නියමිත දිනයේ දී අංජනම් කරුවකු ද ගෙන්වා ගත්හ. මේ භූතාත්මය කුමක්දැයි සොයා බලන්නට අවශ්‍ය කටයුතු ආරම්භ කළහ.
”ඔන්න යකෙක් එනවා. වලහෙක් වගෙයි. ඇඟිලි දිගයි” අංජනම් කරු කීවේය.
”ඔහුගෙන් අහන්න ඔය දුක්ඛිත ආත්මයෙන් මිදෙන්න කැමතිද? කියා” හේවගේ මහතා අසයි.
”කැමැති නැතිලු”
”මේ ස්ථානයෙන් අයින් වෙන්න කියන්න”
”එහෙම යන්න බැරිලු”
”ඔය කවුද? කියලා අහන්න”
”පු.නා.උ.රා. කියන අකුරු හතර ලීවා”
”ඔහුට කියන්න ඔහු ඉන්නේ මහා ප්‍රේත ආත්මයක. ඔය ආත්මය දුක්ඛ දායකයි. මේ තෙරුවනට අයිති විහාරයකට බාධා කොට තවත් අකුසල් කරගෙන අවීචි මහා නරකාදියේ දුක් විඳින්නද හදන්්නේ යි අහන්න”
”විහාරය හැදුවේ ඔහුලු”
”ඔව් ඒක මහා කුසල කර්මයක්. මේ උපාසක මහත්මයා කදෙන් වැලි ඇද බුදුරජාණන් වහන්සේ නමින් විහාරයක් හැදීම මහා කුසල කර්මයක් බව කියන්න. ඒ කුසලය මෙනෙහි කරන්න කියන්න” හේවගේ මහතා කියයි.
”අන්න අන්න ඔහුගේ විරූපී බව නැතිවුණා” අංජනම් කරු කියයි.
”ඔහුට පෙර පින් සිහිපත් කරන්න කියන්න. ඔහු පෝයට සිල් සමාදන් වුණා. මල් පහන් පූජා කළා. විහාරයක් හැදුවා. වන්දනාකරුවන්ට විහාරය වඳින්න සලසා දුන්නා. ඔහුට ඒවා සිහිපත් කරන්න කියන්න. ඔහුට උවමනා මොනවාදැයි අහන්න”
”දානයක් දී පින් අනුමෝදන් කරන්නලු. හෙට ම රාත්‍රි 12 සිට රාත්‍රි 2 දක්වා ආහාර හා කැවිලි පූජාවක් ඔහුගේ පිරිවර සඳහා වැව් කණ්ඩිය මතට ගෙනෙන්නලු.
”හරි ඒ දානය හෙට ම පූජාකර නාරායන උපාසක රාල නමින් පින් දෙනවා කියන්න.”
පසුදින සංඝගත දක්ෂිණාවක් පිරිනමා පින් අනුමෝදන් කළහ. රාත්‍රි වැව් කණ්ඩිය මතට ආහාර පාන ගෙන ගොස් තැබූහ. යක්ෂයා සහ පිරිස ආහාර පානයෙන් සතුටු වූහ. නැවත පාන්දර 5ට අංජනම බැලූහ. එහිදී ඔහු කීවේ තමන් ශ්‍රීපාද අඩවියට යන බවත්, දිනපතා නොකඩවා වතාවත් කළ යුතුª බවත්, එය අවසානයේ “මේ විහාරය හැදූ පුවක්දණ්ඩාවේ උපාසක රාලට පින්සිදු වේවා”යි කියා නමින් පින් දිය යුතු බවත් ය. එය එසේ ම අද දක්වා ම සිදු කෙරෙන බව ද හේවගේ මහතා කියයි. එතැන් පටන් විහාරස්ථානය ද දියුණු විය.
මේ කතාවත් එවැන්නකි. එක්තරා අමනුෂ්‍යයෝ දෙදෙනෙක් රාත්‍රි ගම් කොරටු හරහා ගමන් කරද්දී
”අන්න බොලේ, අර බලපිය” යැයි අනෙකාට යමක් පෙන්වීය.
”හැබෑටම බොල. නිධානයක් නේදැ”යි විමතියට පත්ව, ඒ පිළිබඳ තණ්හාවෙන් එතැනට අධිගෘහිත වූහ. කාලයාගේ ඇවෑමෙන් 1926 දී ඒ ස්ථානය පැරැණි පන්සලක් පිහිටි තැනක් බව දැන සුද්ධ පවිත්‍ර කර විහාරයක් ගොඩනඟා වතාවත් පටන් ගත්හ. චෛත්‍යයකට මුල්ගල් තබන්නට අඩිතාලම කපද්දී පැරැණි චෛත්‍යයක අඩිතාලම මතුවිය. ඒ මතම අලුත් චෛත්‍යය ගොඩනඟන්නට පටන් ගත්හ. 1926 සිට මේ දක්වා පරම්පරා තුනක දායකයෝ කොයි තරම් උත්සාහ කළත් අඩිතාලම අඩි දෙකකට වඩා ඉහළට ගොඩ නඟන්නට නොහැකි විය.
අවසානයේ ගුප්ත ගවේෂණයක් මඟින් සොයා බලන විට යක්ෂයින් දෙදෙනා නිධන් වස්තුවලට තණ්හාවෙන් බැඳී සිටින බව අනාවරණය විය. දිනක් රාත්‍රියේ ඉතා පිරිසුදුව බෝධි පූජාවක් පවත්වා, පිරිත් දේශනා කොට යක්ෂයින් දෙදෙනා අමතා
”මෙය නුඹලාට අයිති දෙයක් නොවේ. තෙරුවන් විෂයෙහි පූජා කළ ස්ථානයක්. නුඹලා නිධන් වස්තු තණ්හාවෙන් බැඳී දුක්විඳිනවා. නුඹලා මෙතෙක් කල් මේ නිධන් වස්තු ආරක්ෂා කිරීම පිනක් වශයෙන් සිතා මේ ස්ථානයෙන් ඉවත් විය යුතුය. මේ ස්ථානය ගොඩ නඟන්නට බාධා කිරීම මහා පාපයක්. බරපතළ පාපයක්” යැයි කාරණා පැහැදිලි කොට පසු දින දානයක් දී පින් අනුමෝදන් කොට ඉවත්ව යන ලෙස දැන්වීය.
තණ්හාවක මහත; මේ යක්ෂයන් දෙදෙනා පන්සල් භූමියෙන් ඈත්ව, වෙනත් ඉඩමක ලී කොටයක් මත වාඩි වී තවමත් නිධානය දෙස බලා සිටිති. නිධානය ගන්නට හිතුවත් එසේ සිතන අයට ලෙඩ කරවති.
මේ අන්දමින් දැඩි තණ්හාවෙන් හා බද්ධ වෛරයෙන් මිය යන අය එසේ දුගන්තීහි ඉපිද අවුරුදු දස දහස් ගණන් දුක්විඳිති. සමහරු කල්ප ගණන්, බුද්ධාන්තර ගණන් දුක් විඳිති. පෙර කුසල් අමතක වී අකුසල් සිත් ම ගොඩනැඟෙමින් පැවතීම නිසා මෙසේ අනන්ත දුක්විඳිති. කිනම් ආකාරයකින් ඔවුන් පෙර කළ කුසලයක් පිළිබඳ සිහියට නැඟුණේ වී නම් එය ඔහුගේ හෝ ඇගේ වාසනාවක්.

පිටපත  : මතුගම මහින්ද විජේතිලක
  • Stumble This
  • Fav This With Technorati
  • Add To Del.icio.us
  • Digg This
  • Add To Facebook
  • Add To Yahoo

0 comments:

Post a Comment